දිවයිනේ බොහෝ පළාත්වලට උෂ්ණත්වය වැඩිවෙයි

Share

සැප්තැම්බර් 8 දක්වා දෘශ්‍ය සුර්යයා දකුණට ගමන් කිරීමේ දී ලංකාවට ආසන්න අක්ෂාංශවලට සෘජුවම ඉහළින් ගමන් කිරීම හේතුවෙන් දිවයිනේ බොහෝ පළාත්වලට උෂ්ණත්වය වැඩිවීමක් වාර්තා වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

 

අධික හිරු රශ්මිය නිසා මෙම කාල සීමාව තුළ ඇතිවිය හැකි පීඩා අවම කරගැනීම සදහා සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

විවෘත වැඩබිම්වල සේවය කරන පිරිස ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීමටත්, සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීමට කටයුතු කිරීමටත්, අධික උෂ්ණත්වයක් වාර්තා වන කලාපයේ ජීවත් වන වැඩිහිටි හෝ රෝගී පුද්ගලයින් මේ පිළිබද වැඩි සැලකිල්ලක් දැක්වීමත්, දරුවන් වාහන තුළ ගමන් කරන විට හෝ යම් හේතුවක් නිසා වාහනය තුළ දරුවන් තනිකර දමා බැහැර යන්නේනම් එවැනි ක්‍රියාවලින් වැළකී සිටීමටත්, අධික වෙහෙසකාරී කටයුතුවල නිරතවීමෙන් හැකිතාක් මිදීමටත්, සුදු හෝ ලා පැහැති වර්ණයෙන් යුතු සැහැල්ලු ඇදුම් ඇදීමට කටයුතු කිරීමත් වාඩාත් සුදුසු බව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අධික උෂ්ණත්වය හේතුවෙන් ඇතිවිය හැකි සංකූලතා අවම කරගැනීම සම්බන්ධයෙන් උපදෙස් ලබා දී ඇත.

“අධික උෂ්ණත්වය හේතුවෙන් විජලන තත්වයට පත්වීම සහ ලවණ ඉවත්වීම නිසා ඇතිවිය හැකි මස්පිඩු පෙරලීම, අධික උෂ්ණත්වය නිසා ඇතිවන අධික මහන්සිය ඇති විය හැකියි,” යනුවෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි.

ළමුන් අධික උෂ්ණත්වයේ ක්‍රීඩාකිරීම සහ වෙනත් ක්‍රියාකාරකම්වල නිරතවීම නිසා ශරීර උෂ්ණත්වය නියාමනය කිරීම අඩපණ වී ආඝාත තත්ත්වය ඇතිවිය හැකි බවට ද අනතුරු ඇඟවේ.

 

Read more

Local News