කුරුණෑගල නගරාධිපති ඇතුළු 5කගේ රිට් පෙත්සමට විරෝධතා ගොනු කිරිම 12 වැනිදාට

Share

කුරුණෑගල පුරාවිද්‍යා වටිනාකමක් ඇති බවට සැලකෙන ගොඩනැගිල්ලක් කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට ගන්නැයි නිකුත් කළ වරෙන්තුව බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු පස්දෙනකු ගොනු කළ රිට් පෙත්සමට නොවැම්බර් 12වැනිදාට විරෝධතා ගොනු කරන්නැයි නීතිපති ඇතුළු වගඋත්තරකරුවන්ට මහාධිකරණය දැනුම් දෙනු ලැබිය.

 

මෙම පෙත්සම ඊයේ (14) අභියාචනාධිකරණ සභාපති විනිසුරු ඒ. එම්. එම්. ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ කැඳවිය.

කුරුණෑගල පොලිස් ස්ථානාධිපති ඒ. ඇම්. කපිල අධිකාරි, කුරුණෑගල විශේෂ ඒකකයේ ස්ථානාධිපති රංජිත් කුලතුංග, වැඩබලන පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක, කුරුණෑගල මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් සහ නීතිපතිවරයා මෙම පෙත්සමෙන් වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ඇතුළු පස්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා විසින් නිකුත් කළ වරෙන්තුව ක්‍රියාත්මක කිරීම වළකාලමින් පසුගිය මස 25 වැනි දා අභියාචනාධිකරණය මඟින් අතුරු නියෝගයක් නිකුත් කරන ලදී.

එම අතුරු නියෝගය මෙම පෙත්සම් විභාගය අවසන් වනතුරු බලපැවැත්වෙන පරිදි නිකුත් කර තිබේ.

Read more

Local News