ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනැගීම යුගයේ වගකීමක් : ජනපති

Share

විනයගරුක, නීරෝගිමත් සහ ජව සම්පන්න සමාජයක් බිහිකිරීම උදෙසා ඉවහල්වන ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනැගීම යුගයේ වගකීමක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

 

ජනපතිවරයා මේ බව පැවසුවේ ජනාධිපති කාර්යාලයේ ඊයේ (16) දහවල් පැවති සාකච්ඡාවකදිය.

ක්‍රීඩාව තරුණ පරපුරේ භාෂාව බවත් අධ්‍යාපනයට සමගාමීව දරුවා ක්‍රීඩාවට යොමු කිරීමෙන් පරිපූර්ණ පුරවැසියකු සමාජයට දායාද කළ හැකි බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙනු ලැබිය.

සියලු දිස්ත්‍රික්කවල පාසල්වල ක්‍රීඩා පිටි නඩත්තුව සඳහා වෙනම ඒකකයක් ස්ථාපනය කිරීමට පියවර ගන්නැයි ජනාධිපති රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ අමාත්‍යාංශවලට ඒ වෙනුවෙන් විශාල වගකීමක් පැවරී ඇතැයි ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා, යටිතල පහසුකම්, ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ ඒම අවස්ථාවේදි පැහැදිලි කළේය.

දිවයින පුරා පාසල්වල ක්‍රීඩාවට දක්ෂතා දක්වන දරුවන් කුඩා කලම තෝරාගෙන ඔවුනට අවශ්‍ය නිසි පෝෂණය සහ ජාතික සහ අන්තර්ජාතික පුහුණුව ඇතුළු පහසුකම් සලසන වැඩසටහනක අවශ්‍යතාව ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.

ග්‍රාමීය පාසල්වලට ක්‍රීඩා පිටි දෙන ලෙස ඉල්ලා සිටියද, ඒවා ඉදිකර දීමෙන් පසු නඩත්තු නොකෙරෙන බව බොහෝ ස්ථානවලදී දක්නට ලැබුණු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා තණකොළ කැපීම ඇතුළු ඉතා පහසුවෙන් කළ හැකි නඩත්තු සඳහා එතරම් මුදලක් වැය නොවන බව ද සඳහන් කළේය.

ක්‍රීඩා පිටි නඩත්තු කිරීමේ හැකියාව පළාත් පාලන ආයතන සතුව ඇති හෙයින් තෙමසක් ඇතුළත දිවයිනේ සියලු ක්‍රීඩා පිටි අලංකාරවත් ලෙස පවිත්‍ර කර දෙන්නැයි ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

කොළඹ 07, ටොරින්ටන් මාවතේ පිහිටි ජාතික ක්‍රීඩා විද්‍යායතනය දියගම ක්‍රීඩා සංකිර්ණ පරිශ්‍රය සමඟ බද්ධ කොට අන්තර්ජාතික මට්ටමේ ප්‍රමිතියෙන් යුත් ක්‍රීඩා විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනැගීමට කුඩා දරුවන් සෙල්ලම් කරන තැන් සොයා ගොස් ක්‍රීඩා පිටි සකස් කළ යුතුව ඇතැයි ද නාමල් රාජපක්ෂ මහතා කීයා සිටියේය. ක්‍රීඩා ශ්‍රේණිගතකර අන්තර්ජාතික තරග සඳහා යොමු කළ හැකි පිරිසක් පුහුණු කිරීමේ වැදගත්කම ක්‍රීඩා සභාවේ සාමාජික කුමාර සංගක්කාර මහතා පෙන්වා දුන්නේය.

විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීමේ දී ක්‍රීඩා දක්ෂතා වෙනුවෙන් ලකුණු දීමේ ක්‍රමය ප්‍රචලිත කිරීමට සහ විශ්වවිද්‍යාල තුළින් ජාතික තලයේ ක්‍රීඩකයන් බිහි කිරීමට ඇති හැකියාව සංගක්කාර මහතා විසින් පෙන්වා දෙනු ලැබිණි. සුගතදාස ක්‍රීඩා අධිකාරියේ පූර්ණ ප්‍රතිව්‍යුහකරණය පිළිබඳ හා ඔලිම්පික් පදක්කම් දිනාගත හැකි ක්‍රීඩා ලෙස හඳුනාගෙන ඇති දුනු විදීමේ සහ ඉලක්කයට වෙඩි තැබීමේ ක්‍රීඩා පාසල් මට්ටමේ සිට ප්‍රගුණ කිරීමේ ඉඩකඩ ද සාකච්ඡා කෙරිණි.

විවිධ ක්‍රීඩා සඳහා දක්ෂතා දක්වන ලෝකයේ සෙසු රටවල වෙසෙන ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික ධජය යටතේ එක් වන්නැයි කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරු ඉල්ලා සිටියහ.

අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස්, ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති නාමල් රාජපක්ෂ, ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම්, ආචාර්ය පී.බී. ජයසුන්දර යන මහත්වරුන්, කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්, රේඛීය ආයතනවල නිලධාරීහූ, ක්‍රීඩා සංගම් නියෝජිතයෝ සහ ප්‍රවීණ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

Read more

Local News