හම්බන්තොට ඖෂධ නිෂ්පාදන කලාපයක් ස්ථාපිත කිරිමට තීරණයක්

Share

හම්බන්තොට ආරබොක්ක වතුයායේ ඖෂධ නිෂ්පාදනය සඳහාම වෙන් වූ අක්කර 400ක ඖෂධ කලාපයක් ස්ථාපිත කිරීමට රජය තීරණය කර තිබේ.

 

මේ සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මඟින් අවශ්‍ය යටිතල පහසුකම් සැපයීමට නියමිත අතර සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉදිරිපත් කළ යෝජනාව සඳහා ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

එම ව්‍යාපෘතියෙහි පළමු අදියර ලෙස අක්කර 200ක් තුළ ඖෂධ නිෂ්පාදන සමාගම් 20ක් පිහිටුවීමට හා දෙවන අදියර ලෙස තවත් අක්කර 200ක් තුළ තවත් ඖෂධ නිෂ්පාදන සමාගම් 20 ක් පිහිටුවීමට රජය සැලසුම් කර ඇත.

සෘජු විදේශීය ආයෝජන ආකර්ශණය කරගත හැකි සහ විදේශ විනිමය උපයා ගැනීම සඳහා විභවයක් ඇති කර්මාන්තයක් වශයෙන් ආර්ථික පුනර්ජීවනය සහ දිළිඳුබව දුරලීම සඳහා වූ ජනාධිපති කාර්යසාධක බළකාය ඖෂධ නිෂ්පාදන කර්මාන්තය හඳුනාගෙන තිබේ. ඒ අනුව ලෝකයේ ප්‍රධාන ඖෂධ නිෂ්පාදන සමාගම් ආකර්ශනය කර ගැනීමට හැකිවන පරිදි නවීන පහසුකම් සහිතව මෙම කලාපය ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබේ.

Read more

Local News