තාක්ෂණ අමාත්‍යාංශය ජනපති යටතට

Share

නොවැම්බර් මස 20 වැනිදා සිදු කළ අමාත්‍යාංශ විෂයය සංශෝධනය ප්‍රකාර ආරක්ෂක සහ තාක්ෂණ අමාත්‍යාංශ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතට ගෙන තිබේ.

 

එමෙන්ම මහජන ආරක්ෂක කැබිනට් අමාත්‍යවරයා ලෙස රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා සහ රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස චමල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබිය.

21 වැනි සියවසේදී නව තාක්ෂණයෙන් සන්නද්ධ සමාජයක් බිහි කිරීම සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ආයෝජන, ආර්ථික අංශ සමග බද්ධ කිරීමට රජය අපේක්ෂා කරනු ලබන අතර එමගින් ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට ඉවහල් වන පරිදි තාක්ෂණික නව්‍යකරණ සංස්කෘතියක් (culture of technology Innovation) ගොඩනැගීම ජනාධිපතිවරයාගේ අභිප්‍රාය බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

රාජ්‍ය යාන්ත්‍රණය හා වෙළෙඳ පොළ ක්‍රියාවලිය සරල කිරීම, දැනුම හුවමාරුවේ මෙවලමක් ලෙස තොරතුරු තාක්ෂණය භාවිතයෙන් ඩිජිටල් ආණ්ඩුකරණය පුළුල් කිරීම නව අමාත්‍යාංශයේ ප්‍රමුඛතාවක් වන අතර ජාත්‍යන්තර විද්‍යුත් ගෙවීම් ක්‍රම ස්ථාපනය, රට පුරා විහිදුණු අධිවේගි දත්ත හුවමාරු පද්ධතියක් හා ආශ්‍රිත ජංගම ජාල පද්ධතියක් ස්ථාපනය නව අමාත්‍යාංශයේ විෂයය පථයට අයත් වන බවද එම නිවේදනයේ සඳහන් කර තිබේ.

Read more

Local News