මෙරට දරුවන් පිළිබඳ නවතම යුනිසෙෆ් වාර්තාවක්

Share

මෙරට ළමුන් පනස් හය දහසක් උග්‍ර මන්ද පෝෂණයෙන් පෙළෙන බව යුනිසෙෆ් සංවිධානයේ නවතම වාර්තාවකින් පෙන්වා දෙනවා. වයස අවුරුදු පහට අඩු දරුවන් සඳහා ඉක්මන් ප්‍රතිකාර අවශ්‍ය බවයි එම සංවිධානය වැඩිදුරටත් පවසන්නේ.

ඒ අනුව යුනිසෙෆ් සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ලංකාවේ ළමුන් ලක්ෂ විසි දෙකකට මානුෂීය සහය කඩිනමින් අවශ්‍ය බවයි.

එපමණක් නොව ශ්‍රී ලංකාවේ ළමුන් මිලියන හතරයි දශම අටකට අධ්‍යාපනය සඳහා ප්‍රවේශය අවශ්‍ය බවද යුනිසෙෆ් වාර්තාව මගින් පෙන්වා දී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ඇති ආර්ථික අර්බුදය හමුවේ මෙම වසරේ ඔක්තෝබර් මස සිට ලබන වසරේ පෙබරවාරි දක්වා කාලය තුළ ආහාර අනාරක්ෂිතභාවය තවත් දරුණු අතට හැරිය හැකි බවත් යුනිසෙෆ් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා.

එසේම මිලියන හයයි දශම දෙකක ජනතාවක් මධ්‍යස්ථ ආහාර අනාරක්ෂිත භාවයෙන් පෙළෙන බවත් හැට හය දහසක් උග්‍ර ආහාර අනාරක්ෂිත භාවයෙන් පෙළෙන බවත් යුනිසෙෆ් වාර්තාවෙන් පෙන්වා දී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ පවුල් පහකින් දෙකක්ම තම මාසික වැටුපෙන් සියයට හැත්තෑ පහක් වියදම් කරන්නේ ආහාර අවශ්‍යතා සපුරා ගැනීමට බව යුනිසෙෆ් සංවිධානය පෙන්වා දී තිබෙනවා.

ඒ හේතුවෙන් අධ්‍යාපනය සහ සෞඛ්‍ය වෙනුවෙන් වෙන් කළ හැක්කේ ඉතා අඩු ප්‍රමාණයක් බවයි එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

Read more

Local News