රට බංකොළොත්භාවයෙන් ගොඩගැනීමට තමා නිසැකවම කටයුතු කරන බව අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ණය බරින් නිදහස් වූ මෙන්ම ණය ගෙවීමට හැකි ආර්ථිකයක් රට තුළ ගොඩනඟන බව අවධාරණය කළේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා ජපන් සබඳතාවලට 70 වසරක් සපිරීමට සමගාමීව ටොයෝටා ලංකා සමාගම කඩවත ප්‍රදේශයේ ඉදිකළ මෝටර් රථ අමතර කොටස් සැපයුම් මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට (14) පෙරවරුවේ එක් වෙමිනි.
යුද්ධයෙන් පසුව ආර්ථික වැඩපිළිවෙල වෙනස් නොකිරීම හේතුවෙන් අද රට බංකොළොත්භාවයට පත්ව ඇති බවත් කෙසේ හෝ ආයෝජන අවස්ථා වැඩිකර ලබන වසර වනවිට ආර්ථිකය ඉදිරියට ගෙනයෑමට අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
රටේ ආර්ථිකය පණ ගැන්විය හැකි සහ ආයෝජන අවස්ථා රටට ගෙන්වාගත හැකි ආයතන පද්ධතියක අවශ්‍යතාවය ද අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ආයෝජන ප්‍රවර්ධන අංශයත්, අපනයන සංවර්ධන මණ්ඩලයත් ඒකාබද්ධ කරමින් ආර්ථික සංස්ථාවක් ඇති කිරීමට පියවර ගන්නා බව ද පැවසීය.



