ජාතික ඩිජිටල් ප්‍රතිපත්තියක් නොමැති වීමේ ගැටළුව හේතුවෙන් ලොව අනෙක් රටවල් අතර ශ්‍රී ලංකාව පසුබෑමක සිටින බව ආර්ථික ස්ථායීකරණය සඳහා වූ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනාගැනීම වෙනුවෙන් වූ ජාතික සභා අනු කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි.
මේ අදහස් පළ කෙරුණේ ආර්ථික ස්ථායීකරණය සඳහා වූ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනාගැනීම වෙනුවෙන් වූ ජාතික සභා අනු කාරක සභාව පසුගියදා එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී රැස්වූ අවස්ථාවේදීය.
තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයට අදාළ ගැටළු සහ ඒ සඳහා යෝජනා ඉදිරිපත් කිරීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයට සම්බන්ධ විද්වතුන්, රාජ්‍ය ආයතන ප්‍රධානීන් හා පෞද්ගලික සමාගම් ප්‍රධානීන් ඇතුළු විශාල පිරිසක් මෙම රැස්වීමට කැඳවා තිබිණි.
විශේෂයෙන් E-Governance සංකල්පය යටතේ සියළු රාජ්‍ය ආයතන එක් කරන ජාලයක් තවමත් සකස් කර ගැනීමට නොහැකි වීම සහ එම ප්‍රතිපත්තිය කඩිනමින් සකස් කොට රාජ්‍යය, පුරවැසියා සහ ව්‍යාපාරිකයා අතර දුරස්ථභාවය අවම කරගැනීමට කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.



