විදෙස් ආයෝජකයන් ගෙන්වා ගැනීමට රජයේ අවධානය

Share

දේශගුණික විපර්යාස අවම කර ගැනීමේ ව්‍යාපෘති වෙනුවෙන් මෙරටට විදෙස් ආයෝජකයන් ගෙන්වා ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇත.

පුනර්ජනනීය බලශක්තිය සියයට 70 ක ඉලක්කයකට ළඟා කර ගැනීම, 2050 වනවිට කාබන් මධ්‍යස්ථභාවය (carbon neutrality) ලබාගැනීම, කාබන් විමෝචන බලපත්‍ර වෙනුවෙන් වූ ජාත්‍යන්තර වෙළෙඳපොළ සොයා යෑම යන ඉලක්ක තුන සපුරා ගැනීම සඳහා විදෙස් ආයෝජකයන් ගෙන්වා ගැනීම රජයේ සැලසුම වී තිබේ.

මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන සහ ජාත්‍යන්තර දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක එරික් සෝල්හෙයිම් යන අයගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

සහනදායි දේශගුණික මූල්‍යකරණය, කාබන් බැර කිරීම, කාබන් වෙළෙඳ පොළ, පුනර්ජනනීය බලශක්තිය සහ හයිඩ්‍රජන් වැනි අනාගත බලශක්ති ප්‍රභව පිළිබඳව සෝල්හයිම් සිය ජාත්‍යන්තර දැනුම මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටි නිලධාරීන් සමඟ හුවමාරු කර ගනු ලැබීය.

පුනර්ජනීය බලශක්තිය සම්බන්ධව ද අදහස් දැක්වූ සෝල්හයිම් ඉන්දියාව සහ චීනය වැනි රටවල් එහි ප්‍රබල වාසි රැසක් හිමි කර ගෙන සිටින බවත්, ශ්‍රී ලංකාවට ද එම වාසි අත්කර හැකි බවත් පෙන්වා දුන්නේය.

එසේම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙරටට බලපා ඇති සියලු ප්‍රශ්න විසඳනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් සෝල්හයිම් වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මෙහිදී අදහස් දැක්වූ රුවන් විජයවර්ධන ප්‍රකාශ කළේ පුනර්ජනනීය බලශක්ති අංශය වේගයෙන් වර්ධනය වන අංශයක් බවත් යුරෝපය, ඇමෙරිකාව, කැනඩාව ඇතුළු රටවල එවැනි ආයෝජකයන් විශාල වශයෙන් සිටින බවත්ය.

ඒ අනුව මෙරට ජනතාවට වාසි අත්වන පරිදි එම ආයෝජන ගෙන්වා ගැනීමට කටයුතු කළ යුතු බව පෙන්වා දුන් රුවන් විජයවර්ධන, ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ඒ පිළිබඳ දැඩි අවධානය යොමු කළ යුතු බවත් පැවසීය.

Read more

Local News