චීන රජයෙන් ලැබුණු ඉන්ධන, වී වගාවේ නියුතු ගොවිජනතාවට

Share

චීන රජය මෙරටට ලබා දී ඇති ඉන්ධන ලීටර් මිලියන 10.06න් ඉන්ධන ලීටර් මිලියන 6.98ක් ශ්‍රී ලංකාවේ වී වගාවේ නියුතු ගොවිජනතාවට සහනයක් ලෙස ලබා දීමට තීරණය කරන ලද බව කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

චීන රජයෙන් ලැබුනු සමස්ත ඉන්ධන ප්‍රමාණයෙන් ඉතිරි කොටස මෙරට ධීවර කටයුතු සඳහා ලබා දීමට නියමිතය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ චීන රජයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම ඉන්ධන තොගය ලංකාවට ලැබී තිබේ.

කෙසේ වුවද කෘෂිකාර්මික ක්ෂේත්‍රය සඳහා ලබා දුන් ඉන්ධන ලීටර් මිලියන 6.98 වී වගාවේ නියුතු ගොවි ජනතාව අතර බෙදා දීම සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරින් සමග සාකච්ඡාවක් පසුගියදා පැවැත්විණි.

ඒ අනුව මෙම ඉන්ධන ප්‍රමාණය මාස් කන්නයේ වී අස්වනු නෙළාගන්නා අවස්ථාවේ ලබා දීමට තීරණය කරනු ලැබීය. එසේම මෙම ඉන්ධන තොගය හෙක්ටෙයාර් 01කට අඩු වී වගා කරන සෑම ගොවි මහතෙකුටම ලබා දීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර අදාළ නිලධාරින්ට උපදෙස් දුන්නේය.

ඉන්ධන බෙදාහැරීම ඒ ඒ දිස්ත්‍රික්කවලින් තෝරාගන්නා ලද ඛනිජතෙල් සංස්ථාවට අයත් පිරවුම්හල් මගින් සිදු කෙරේ.

Read more

Local News