දෙසැම්බර් 30 සහ 31 විශේෂ ඩෙංගු මර්දන දින 02ක්

Share

2023 වර්ෂයේ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම පාලනය කිරීමේ අරමුණෙන් 2022 දෙසැම්බර් මස 30 වන සිකුරාදා සහ 31 වන සෙනසුරාදා විශේෂ ඩෙංගු මර්දන දින වශයෙන් ප්‍රකාශයට පත්කරනු ලබන බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි.

2022 වර්ෂයේ දෙසැම්බර් මස 26 දින වන විට අප රට තුළ ඩෙංගු බවට සැක කටයුතු රෝගීන් 75,434ක් වාර්තා වී ඇතැයිද මෙය පසුගිය වසරේ වාර්තා වූ ඩෙංගු රෝගීන් ප්‍රමාණය මෙන් දෙගුනයකටත් වඩා වැඩි ප්‍රමාණයක් බවද සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කරන මාධ්‍ය නිවේදනය මගින් අවධාරණය කරයි.

පසුගිය සති හතරක කාලය තුළ ඩෙංගු රෝගීන් වාර්තා වීමේ සීඝ්‍ර වර්ධනයක් රට පුරාම නිරීක්ෂණය වූ බවද දිනකට රෝගීන් 200ත් 300ත් අතර ප්‍රමාණයක් රෝහල්වලින් වාර්තාවීමේ ප්‍රවණතාවයක් දක්නට ඇති බවද සදහන් වෙයි.

මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය වෙමින් පවතින බැවින් 2023 ජනවාරි මාසය තුළ ඩෙංගු රෝගීන් විශාල ප්‍රමාණයක් රට පුරා වාර්තා වීමේ විශාල අවදානමකටද අප මුහුණදී සිටී.

එබැවින් රට තුළ ඩෙංගු රෝගය ව්‍යාප්තවීම වැළැක්වීමට වහාම කටයුතු කිරීම අප සැමගේ අද දවසේ ප්‍රමුඛ කාර්යභාරයක් ලෙස අවධාරණයෙන් සලකමින් මෙම ඩෙංගු මර්දන දින 02 ප්‍රකාශයට පත්කර ඇත.

එම දෙදින තුළ සියලුදෙනා තම නිවස තුළ සහ නිවස අවට මදුරුවන් බෝවිය හැකි ස්ථාන සොයා බලා ඒවා ඉවත් කිරීමට කටයුතු කළ යුතුය. එයට අමතරව තමා රාජකාරී කරන ස්ථානය සහ තම ප්‍රෙද්ශයේ පොදු ස්ථාන වල මදුරුවන් බෝ විය හැකි ස්ථාන සොයා බලා ඒවා ඉවත් කිරීමට කටයුතු කළ යුතුය.

තම ආයතනය තුළ මෙම කටයුතු සාර්ථකව සිදුවෙන බවට ආයතන ප්‍රධානීන් විසින් වග බලාගත යුතුය.

2023 ජනවාරි 02 නව පාසල් වාරය ඇරඹීමට සැලසුම් කර ඇති බැවින් දිවයින පුරා සියලු පාසල්වල විදුහල්පති ඇතුළු කාර්ය මණ්ඩලය, පාසල් දරුවන්ගේ දෙමාපියන් සහ ප්‍රෙද්ශයේ ස්වෙච්ඡා සංවිධාන සමග එක්ව පාසල් පරිශ්‍ර පරීක්ෂා කර බලා මදුරුවන් බෝ විය හැකි සියලු ස්ථාන හදුනාගෙන ඒවා ඉවත්කිරීමට අනිවාර්යයෙන්ම කටයුතු කළ යුතුය.

Read more

Local News