බිඳවැටුණු ආර්ථිකය ගොඩගැනීමට රජය ඉදිරිපත් කළ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ නිසි ලෙස ක්‍රියාත්මක කළහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දුන් ඉලක්ක පමණක් නොව ඉන් ඔබ්බට ගිය ආර්ථික සමෘද්ධියක් කෙටි කාලයක් තුළ රටට උදාකරගත හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අමාත්‍යාංශ ලේකම්වරු සහ පළාත් ප්‍රධාන ලේකම්වරු සමඟ ඊයේ (17) ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී ය.
රටේ ආර්ථිකය බංකොලොත්වීම සහ තමන්ගේ අනාගතය පිළිබඳ තරුණ පරපුර නඟන ප්‍රශ්නවලට දේශපාලඥයාගේ සිට පරිපාලන නිලධාරියා දක්වා සියලුදෙනාට පිළිතුරු දීමට සිදුවන බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා අතීතයේ වැරදි සිදු වුවද, සියලුදෙනා එක්ව නිසි ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළක් ඔස්සේ කටයුතු කිරීමෙන් එම වැරදි ආපසු හරවා ගැනීමට හැකියාව තිබෙන බව ද කියා සිටියේය.
රටේ දියුණු ආර්ථිකයක් ඇති කිරීමට නම් ඇතැම් රාජ්‍ය සමාගම් ප්‍රතිව්‍යුහගත කිරීම අත්‍යාවශ්‍ය බව අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනතා මුදල් තවදුරටත් අපතේ නොහැරිය යුතු අතර, අමාත්‍යාංශ ලේකම්වරුන් තම අමාත්‍යාංශ යටතේ ඇති සමාගම් ආරක්ෂා කිරීමට කටයුතු කරනවා වෙනුවට රජයේ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළට සහාය ලබාදිය යුතු බව ද කියා සිටියේය.



