ආචාර්යවරුන්ට ජනපතිගෙන් විසඳුමක්

Share

රටේ ආර්ථිකය ස්ථාවර කර ගැනීමත් සමඟ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ගැටලුවලට ද විසඳුම් ලබාදීමට හැකිවනු ඇති බව ජනපති පවසනවා.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ එළැඹෙන සැප්තැම්බර් මාසය වන විට සාර්ථකව අවසන් කර රටේ ආර්ථිකය ස්ථාවර කර ගැනීමෙන් පසුව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉල්ලා සිටින මූල්‍ය සහනයන් ඇතුළු වරප්‍රසාද පිළිබඳ සලකා බැලීමට රජයට හැකි වනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කරනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය සමඟ ඊයේ (18) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවේදී ය.

සියලු විශ්වවිද්‍යාල නියෝජනය කරමින් අධ්‍යයන කාර්ය මණ්ඩල නියෝජිතයන් මීට එක්ව සිටි අතර වර්තමාන අර්ථික පසුබෑම හමුවේ විශ්වවිද්‍යාල පද්ධතිය පවත්වා ගෙන යාමේ හා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මුහුණ පා ඇති ගැටළු සඳහා ලබාදිය හැකි විසඳුම් පිළිබඳ සොයා බැලීම මෙම සාකච්ඡාවේ අරමුණ විය.

විශ්වවිද්‍යාල පද්ධතියේ අත්‍යාවශ්‍ය පුරප්පාඩු හඳුනාගෙන ඒවා පිරවීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී බලධාරින්ට උපදෙස් ලබා දී තිබෙනවා.

වාර්ෂිකව විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාවට සාපේක්ෂව පවතින අධ්‍යන පහසුකම් ප්‍රමාණවත් නොවන බව මෙහිදී විශ්වවිද්‍යාල ආචාර්යවරු පෙන්වා දුන්හ.

මේ වන විට පවතින මූල්‍ය ප්‍රතිපාදන සීමාවන් කළමනාකරණය කර ගනිමින් විශ්වවිද්‍යාල පද්ධතියේ පහසුකම් සංවර්ධනය කිරීම පිළිබඳව මෙහිදී අවධානය යොමු වූ අතර, වෛද්‍ය පීඨ, ඉංජිනේරු පිඨ සහ විද්‍යා පීඨවල පහසුකම් සංවර්ධනයට වැඩි අවධානයක් යොමු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබා දී තිබෙනවා.

Read more

Local News