අද ලෝකය ඉල්ලන්නේ නිපුණතාවෙන් හෙබි වෘත්තිකයන් බවත් ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස (ජර්මන් ටෙක්) ආයතනයේ පාඨමාලාවන් හදාරන සිසුන්ට එවැනි වෘත්තීය පිළිගැනීමක් ජාත්‍යන්තර මට්ටමින් පවතින අතර රැකියාවන් ඔවුන් සොයා පැමිණන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.
ඔහු බව පැවසුවේ ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයේ ඩිප්ලෝමා හා සහතිකපත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී.
ඉදිරියේ දී ජර්මන් රජයේ සහයෝගය මත මෙම ආයතනය හා එහි පාඨමාලා තවදුරටත් පුළුල් කිරීමට කටයුතු කරන අතර එම පාඨමාලාවල ප්‍රමිතිය අඛණ්ඩ ව ඉදිරියටත් සුරක්ෂිත ව පවත්වාගත යුතු බවත් මෙරට එවැනි වෙනත් කාර්මික පුහුණු ආයතනවල තත්වය ද එලෙසින් ම සංවර්ධනය කළ යුතු බවත් අමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශ කළා.
පාසල්වලට අවශ්‍ය යටිතල පහසුකම් සපයමින් නව පාසල් දහසකට නව සන්නිවේදන පහසුකමක් වූ ෆයිබර් ඔප්ටික් (Fiber Optic Connection) හා අවශ්‍ය පරිදි විදුලිබල පහසුකම් ලබා දීමට ක්‍රියා කරන බවත් අමාත්‍යවරයා මෙහිදී පවසා තිබෙනවා.
සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට උසස් පෙළ හැදෑරීම සඳහා ප්‍රතිඵල අපේක්ෂාවෙන් පසු වන මාස තුනක පමණ කාලයේ දී අභිමත වෘත්තීය පාඨමාලාවක් පාසල තුළ දී ම හැදෑරීමේ අවස්ථාව දීපව්‍යාප්ත මට්ටමින් සිසුන්ට හිමි කර දීමට ඉදිරියේ දී අපේක්ෂා කරන බවත් එමගින් උසස් පෙළ හැදෑරුවත් නැතත් සිය ඉදිරි වෘත්තීය ජීවිතය පිළිබඳ යම් සාක්ෂරතාවක් සිසුන්ට ලද හැකි බවත් අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
විදෙස්ගත ව පවතින පුහුණු ශ්‍රම ඉල්ලුමට සරිලන පුහුණුවක් ලබා දිය හැකි පරිදි දිවයින පුරා පිහිටුවා ඇති මධ්‍යස්ථානවලින් පාඨමාලා හැදෑරීමේ දී එහි කාලය අඩු කරගැනීමට ද පාසලේ දී මූලිකව ලබන මෙම වෘත්තීය පුහුණු පාඨමාලා කාලය ඉවහල් කරගත හැකි බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.



