ඉන්දියාවේ ඩිජිටල් ගෙවීම් වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබුණද, ජනතාව අතැති මුදල් නෝට්ටු ප්‍රමාණයද අඛණ්ඩව ඉහළ යමින් පවතී.
රටේ මහ බැංකුව වන Reserve Bank of India (RBI) සතුව මේ වනවිට සංසරණයේ පවතින මුදල් නෝට්ටු බිලියන 176ක් පමණ තිබේ. නෝට්ටු වර්ග හයකින් වාර්ෂිකව නව නෝට්ටු බිලියන 28–30ක් පමණ මුද්‍රණය කරන අතර, පැරණි නෝට්ටු බිලියන 21ක් පමණ සංසරණයෙන් ඉවත් කරයි. මෙය දැවැන්ත සැපයුම් හා බෙදාහැරීම් ක්‍රියාවලියකි.
මේ අතර, Unified Payments Interface (UPI) හරහා සිදුවන ඩිජිටල් ගනුදෙනු දිනකට බිලියනයකට ආසන්න මට්ටමක් කරා වේගයෙන් ඉහළ යමින් පවතී. එහෙත් ආර්ථිකය තුළ සංසරණය වන මුදල් ප්‍රමාණයද වේගවත් ලෙස වැඩි වෙමින් තිබේ.
නියෝජ්‍ය මහබැංකු අධිපති Shirish Chandra Murmu පසුගිය මාසයේ Jakarta හි පැවති මහ බැංකු නිලධාරීන්ගේ හමුවකදී ප්‍රකාශ කළේ, ඩිජිටල් ගෙවීම් භාවිතය ඉහළ යාමත් සමඟ පුද්ගල ගනුදෙනුවල මුදල් භාවිතයේ කොටස අඩු වුවද, සංසරණයේ පවතින මුදල් ප්‍රමාණය තවදුරටත් ද්විත්ව සංඛ්‍යා අනුපාතයකින් වර්ධනය වන බවයි.
එම තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී අවශ්‍ය වන මුදල් නෝට්ටු ප්‍රමාණය නිවැරදිව පුරෝකථනය කිරීම අපහසු වී ඇති අතර, නෝට්ටු නිෂ්පාදනය හා බෙදාහැරීම සඳහා අවශ්‍ය ධාරිතාව සැලසුම් කිරීමද සංකීර්ණ වී ඇති බව ඔහු පෙන්වා දී තිබේ.



