චීන ජනාධිපති ෂී ජින්පිං විශේෂ ගුවන් යානයකින් ඇමරිකාවේ වේලාවෙන් 23 වනදා පස්වරුවේ වොෂින්ටන් නගරයේ තදාසන්නව පිහිටි ඇන්ඩෲස් ඒකාබද්ධ හමුදා කඳවුර වෙත පැමිණියේය. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ ආරාධනයකට අනුව, ජනාධිපති ෂී ජින්පිං මෙම රාජ්ය සංචාරයට එක්ව සිටී. එහිදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ ඔහුගේ ආර්යාව වන මෙලනියා ට්රම්ප්, ෂී ජින්පිං සහ පෙං ලීයුවාන් ආර්යාව පිළිගැනීම සඳහා ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ. ෂී ජින්පිං ජනාධිපතිවරයා හා පෙං ලීයුවාන් ආර්යාව වොෂින්ටන්හිදී පිළිගැනීමට ලැබීම සම්බන්ධයෙන් තමන් සතුටට පත් වන බව ට්රම්ප් පැවසීය. ෂී ජින්පිංගේ මෙවර ඇමරිකානු සංචාරය සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කෙරෙන අවස්ථාවකි. ෂී ජින්පිං විශිෂ්ට රාජ්ය නායකයෙකු බවත් ඔහු සමග එක්ව ගැඹුරින් අදහස් හුවමාරු කරගැනීමට අපේක්ෂා කරන බවත් ඇමරිකානු ජනාධිපතිවරයා පැවසීය. එමගින් දෙරට අතර සබඳතා තහවුරු කරගැනීමට කැමැත්තෙන් පසු වන බව ද ඩොනල්ඩ් ට්රම්ප් එහිදී වැඩිදුරටත් සඳහන් කළේය. එම අවස්ථාවේදී ෂී ජින්පිං ලිඛිත ප්රකාශයක් සිදු කරමින් සඳහන් කළේ, චීනය හා ඇමරිකාව යන දෙරටත්, දෙරටේ ජනතාවත් විශිෂ්ට බවය. දෙරටම හවුල්කරුවන් මිස ප්රතිවාදීන් බවට පත් නොවිය යුතු බව ද හෙතෙම සඳහන් කර ඇත. චීන ජාතියේ දැවැන්ත පුනර්ජීවනය සාක්ෂාත් කර ගැනීම යනු ඇමරිකාවේ විශිෂ්ටත්වය යළි හිමි කර ගැනීමේ අරමුණට පටහැණි වීමක් නොවන බව චීන ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය. ට්රම්ප් පසුගිය මැයි මාසයේ චීනයේ නිල සංචාරයට එක් වූ අවස්ථාවේදී, “සංවර්ධනාත්මක උපායමාර්ගික ස්ථාවරත්ව සම්බන්ධතාවය” ගොඩනැගීමට තමා හා එකඟ වී ඇති බව ද ෂී ජින්පිං සඳහන් කළේය. එමගින් දෙරටේ අනාගත සබඳතාව සඳහා උපායමාර්ගික මාර්ගෝපදේශයක් ලබා දී ඇත. දෙරට එක්ව කටයුතු කළ යුතුය. ඒ අනුව, දෙරට අතර තරගකාරීත්වයක් තිබුණ ද, සහයෝගීතාවය මූලික කරගනිමින් එය නිසියාකාරයෙන් හැසිරවිය යුතුය. මතභේද අවස්ථාවලදී නිසි පාලනයක් යටතේ, සාමකාමී බවින් යුත් ස්ථාවරත්වයක් ඉදිරියට පවත්වා ගෙන යා යුතු බවත් නව යුගයට සරිලන ලෙස දෙරට අතර මනා සම්බන්ධතාවයක් ගොඩනගා ගනිමින් ඉදිරියට කරා ගමන් කළ යුතු බවත් ෂී ජින්පිං කියා සිටියේය.ලෝකය සංවර්ධනය වෙමින් පැවතිය ද, යුග වශයෙන් වෙනස් වෙමින් පැවතිය ද, චීනය හා ඇමරිකාව සාමකාමීව කටයුතු කිරීමේ ඓතිහාසික පදනම වෙනස් වී නොමැති බව ෂී ජින්පිං අවධාරණය කර සිටියේය. දෙරටේ ජනතාව අතර මිත්රශීලි හුවමාරුවල සුන්දර අභිලාෂය වෙනස් වී නොමැත. දෙරටේ සබඳතාව කෙරෙහි ජගත් ප්රජාව දක්වන අපේක්ෂා වෙනස් වී නොමැත. එබැවින් දෙරටේ සබඳතාව හා ලෝක තත්ත්වයන් සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගැනීමට අපේක්ෂා කරමින් “සංවර්ධනාත්මක උපායමාර්ගික ස්ථාවරත්ව සම්බන්ධතාවය” පුළුල් කිරීමට තමා අපේක්ෂාවෙන් සිටින බව චීන ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය. ඇමරිකාවේ විවිධ ක්ෂේත්රයන්හි පුද්ගලයින් සමග එක්ව පුළුල් සම්බන්ධතාවයක් පවත්වමින් මිත්රත්වය තවදුරටත් තහවුරු කිරීම සිය අපේක්ෂාව බව පැවසූ ෂී ජින්පිං, දෙරටේම ප්රයත්නයන් යටතේ තමන්ගේ මෙවර ඇමරිකානු සංචාරය මගින් ප්රතිඵල රැසක් උදා වනු ඇතැයි විශ්වාසය පළ කළේය. එමගින් දෙරටේ ජනතාවට සුබසෙත සලසමින් ලෝක සාමයට අපේක්ෂා ගෙන දිය හැකි බවත් හෙතෙම සඳහන් කළේය.









