රනිල් ඇතුළු පිරිසකට සිතාසි

Share

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ හිටපු අමාත්‍යවරුන් වන මංගල සමරවීර, පාඨලී චම්පික, සරත් ෆොන්සේකා, මලික් සමරවික්‍රම, රවුෆ් හකීම් යන මහත්වරුන්ට එළඹෙන සැප්තැම්බර් 7 වැනිදා දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට අද (18) සිතාසි නිකුත් කර තිබේ.

 

එම පිරිස අතරට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක හා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් යන මහත්වරු ද ඇතුළත්ය.

මේ අතර, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්, හමුදා නිලධාරීන් පිරිසකට මත්පැන් ලබාදී සාක්ෂි ලබා ගැනීමට උත්සාහ කළ බවට ආන්දෝලනාත්මක හෙළිදරව්වක් දේශපාලන කොමිසම හමුවේ අද සිදු කෙරුණි.

දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශන කොමිසම හමුවට අද කැඳවා තිබුණේ ගිරිතලේ යුද හමුදා කඳවුරේ හිටපු දෙවන අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් ප්‍රබෝධ සිරිවර්ධන මහතාය.

ඔහු පැවසුවේ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන් 2015 අගොස්තු 24 වැනිදා අත්අඩංගුවට පත්වූ බවය.

එදින තමාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන ගොස් එවක සහකාර පොලිස් අධිකාරී ශානී අබේසේකර මහතා හමුවට ඉදිරිපත් කළ බව සාක්ෂිකරු පවසා තිබේ.

එහිදී ” එක්නැලිගොඩ මහත්තයා අතුරුදන් වීම ගැන අපට තොරතුරු අනාවරණ වුණා.

ආරක්ෂක ලේකම් ගෝඨාභය මහත්තයාගේ අණ පරිදි ගිරිතලේ යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ශම්මි කුමාරරත්න මේක කළා කියලා කියන්න. එහෙම කිව්වොත් ඔයාට ගැලවිලා යන්න පුලුවන්.” යැයි ශානි අබේසේකර මහතා තමාට පැවසු බව සාක්ෂිකරු කියා සිටියේය.

නමුත් මෙම සිදුවීම වන කාලවකවානුව තුළ කුකුලේ ගඟ සාම සාධක පුහුණු පාසලේ නේවාසිකව පාඨමාලාවක් හදාරමින් සිටි බැවින් තමා ගිරිතලේ කඳවුරේ නොසිටිය නිසා එසේ ප්‍රකාශ කළ නොහැකි යැයි දැනුම් දුන් බව සාක්ෂිකරු පවසා ඇත.

තවත් අවස්ථාවක දී ශානි මහතා තමාව සිය කාමරයට කැඳවා, බදුල්ල පොලීසියේ නිලධාරියෙක් යැයි පවසමින් නාඳුනන පුද්ගලයෙකුට දුරකතන ඇමතුමක් ගෙන තමාට ලබාදුන් බව ප්‍රබෝධ සිරිවර්ධන මහතා පැවසීය.

එහිදී, ඇමතුමේ අනෙක් පස සිටි පුද්ගලයා “ශානි මහත්තයා කියන දේ කරන්න. බය වෙන්න එපා. ඒ හැමදේම ශානි මහත්තයා කරලා දෙයි. ” යනුවෙන් තමාට පැවසූ බව කොමිසමට ඔහු සඳහන් කළේය.

නමුත් තමන් එම අවස්ථාවද ප්‍රතික්ෂේප කළ බවත් ඉන් කෝප වූ ශානි අබේසේකර මහතා “උඹටත් අනිත් අය එක්කම ප්‍රොසීඩියර් කරන්න වෙනවා” ලෙස ප්‍රකාශ කළ බව සාක්ෂිකරු පැවසුවේය.

එමෙන්ම කෙසේ හෝ ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම සිද්ධියට ඈඳාගැනීම සඳහා පෙර සැලසුම් කළ ක්‍රමවේදයක් ඔස්සේ ශානි අබේසේකර මහතා ඇතුළු නිලධාරීන් කටයුතු කළ බවට හැඟී ගිය බවත් සාක්ෂිකරු කොමිසමට ප්‍රකාශ කර තිබේ.

මේ අතර, අත්ඩංගුවට ගෙන ඇති තමා ඇතුළු පිරිසට පානය කිරීම සඳහා විස්කි බෝතලයක් ලබාදුන් බවත් සාක්ෂිකරු මෙහිදී හෙළි කළේය.

මත්පැන් ලබා දුන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ  හිටපු ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා බව සාක්ෂිකරු පවසා තිබේ.

මත්පැන් ලබාදී එදින රාත්‍රී 9ට තම පිරිස ශානි අබේසේකර මහතාගේ කාමරයට රැගෙන ගොස් සාක්ෂි ලබා ගැනීමට උත්සාහ කළ බවත් තමා ඇතුළු පිරිස මත්පැන් පානය නොකර එය පානය කළා සේ හැඟවූ බවත් කොමිසම හමුවේ ප්‍රකාශ කළේය.

එහිදීත් ඔහුට අවශ්‍යවූ ලෙස සාක්ෂි ලබා නොදීම නිසා “මම 30 දෙනෙක් එල්ලුම් ගස් යවලා තියෙනවා. තව 5 දෙනෙක් අඩුයි. වාස් මහත්තයාට කරපු විදිහට තමයි කරන්නේ” යනුවෙන් ශානි මහතා කෝපයෙන් බැන වැදුණු බව සාක්ෂිකරු පැවසුවේය.

එමෙන්ම, අත්අඩංගුවේ සිටි කාලයේ දී CID නිලධාරින් පිරිසක් තමන්වද රැගෙන තම නිවසට ගිය බවත් බොරු සාක්ෂි දෙන ලෙස යෝජනා කරන්නැයි තම බිරිඳට සහ පියාට පැවසූ බවත් කොමිසමට පැවසුවේය.

තමා එක්නැලිගොඩ සිද්ධිය සම්බන්ධයෙන් මාස 3ක් CIDය භාරයේද තවත් මාස 6 1/2ක් රක්ෂිත බන්ධනාගාරගතව ද සිටි බවත් ලුතිතන් කර්නල්වරයා කොමිසමට පවසා ඇත.

Read more

Local News