තවත් බන්ධනාගාර කිහිපයකට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව යෙදවීමට බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්තාපන රාජ්‍ය අමාත්‍යංශය පවසයි.
රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළේ, මේ වනවිට වැලිකඩ,කොළඹ රිමාන්ඩ් හා මැගසින් බන්ධනාගාරවලට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව යොදවා ඇති බවයි.
වැඩපිළිවෙළ යටතේ කළුතර මීගමුව ඇතුළු තෝරාගත් බන්ධනාගාර කිහිපයකට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව යෙදවීමට නියමිතයි.
ඒ පිළිබඳව පොලිස්පතිවරයාගෙන් ලිඛිතව ඉල්ලීමට නියමිත බවද ඇය සඳහන් කළාය.
රාජ්‍ය අමාත්‍යවරිය පැවසුවේ බන්ධාගාරවල සිරකරු තදබදය අඩු කිරීම සඳහා ද විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි.
ඒ අනුව රිමාන්ඩ් සිරකරුවන්ට කඩිනමින් ඇප ලබාදීමට අවශ්‍ය නීතිපති උපදෙස් කඩිනම් කිරීමට ද නියමිත බව සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළාය.
මේ අතර දරුණු ගණයේ සිරකරුවන් බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත කර ඇති මධ්‍යස්ථානයට යොමු කිරීමේ වැඩිපිළිවෙළ පුළුල් කිරීමට ද සැලසුම් කර තිබේ.



