දිවයිනේ ගංගා 103 ක පවිත්‍රතාව රැක ගැනීමට ක්‍රමවේදයක්

Share

දිවයින පුරා පිහිටි ගංගා 103 ක පවිත්‍රතාව රැක ගැනීම වෙනුවෙන් සුවිශේෂි වැඩපිළිවෙලක් ලබන ජනවාරි මාසයේදි අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේදී පැවති පරිසර කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.
මේවන මෙරට පවතින ගංගා බොහෝමයක් ඉතා ශීඝ්‍ර ලෙස දූෂණය වෙමින් පවතින බවත් මේ නිසා විශාල අපද්‍රව්‍ය ප්‍රමාණයක් ගංගා හරහා මුහුදට සහ අවට පරිසරයට එක්වන බවත් එ් මහතා පෙන්වා දුන්නේය.
එබැවින් ගංගා ආරම්භවන ස්ථානවල සිට පවිත්‍රතාවය වෙනුවෙන් අදාල බලධාරීන්ට නිල වශයෙන් අදාල වගකීම් ලබා දෙමින් ජනතාවගේද සහයෝගය ඇතිව මෙය ක්‍රියාත්මක කෙරේ.ඒ අනුව ඉදිරි කාලය තුළ ‘’සුරකිමු ගංගා’’ නමින් ප්‍රධානතම ව්‍යාපෘතියක් ලෙස මෙය අඛන්ඩව ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.පොල් ඉඩම් හාරා වැලි ගැනීම සදහා බලපත්‍ර ලබා දීම අත්හිටුවයි වයඹ පළාතේ පොල් ඉඩම් හාරා වැලි ලබා ගන්නා ව්‍යාපාරයක් මේවන මහා පරිමාණයෙන් සිදුවන බවත් මේ නිසා වටිනා පොල් ඉඩම් ශීඝ්‍ර ලෙස අහිමි වන බවත් රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත් මහතා මෙහිදී අමාත්‍යවරයාගේ අවධානයට යොමු කළේය.මෙහිදී මේ ක්‍රියාවලිය සදහා බලපත්‍ර ලබා දීම වහාම අත්හිටුවන ලෙසඅමාත්‍යවරයා විසින් භූවිද්‍යා හා පතල් කැනීම් කාර්යාංශයේ බලධාරීන්ට නියෝග කරන ලදී.
මෙහිදී විවිධ දේශපාලන්ගේ නම් භාවිතා කරමින් අම්පාර ප්‍රදේශයේ හැඩ ඔය ආශ්‍රිතව සිදුකරන වැලි ගොඩ දැමීමක් පිළිබද ඩී.වීරසිංහ මන්ත්‍රීවරයා කරුණු අනාවරණය කළ අතර අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ තමාගේ හෝ වෙනත් දේශපාලඥයන්ගේ නම් භාවිතා කරමින් සිදුකරන වැලි ජාවාරම් පිළිබද මීට පෙරත් වාර්තා වී ඇති බවත් ඒ පිළිබද සොයා බලා අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා බවත්ය. එසේම මේ පිළිබද වහාම සොයා බලා සතියක් තුළ තමාට වාර්තාවක් ලබා දෙන ලෙස භූවිද්‍යා සහ පතල් කැනීම් කාර්යාංශයේ සහ මධ්‍යම පරිසර අධිකාරයේ බලධාරීන්ට
අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේය.
ගල් , වැලි ප්‍රශ්නය විසදීමට ජනාධිපති කාර්ය සාධක බලකායක් මෙම අවස්ථාවට සම්බන්ධ වූ පරිසර අමාත්‍යංශයේ ලේකම්විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ ශ්‍රි ලංකාවේ ගොඩනැගිලි ඉදිකිරීම් සදහා වැලි,ගල් ඇතුළු අමුද්‍රව්‍ය සැපයීමේ ක්‍රියාවලිය ඉතා අවිධිමත් ජාවාරම්ගතවූ ක්‍රියාවලියක් බවට පත්ව ඇති බවයි.එබැවින් ගල් ,වැලි වැනි ගොඩනැගිලි ඉදිකිරීමේ අමුද්‍රව්‍ය මෙන්ම කර්මාන්ත සදහා අවශ්‍ය මැටි වැනි අමුද්‍රව්‍යද අතරමැදියන්ගෙන් තොරව ජනතාවට අඩුමිලට ලබා දීම සදහා ක්‍රමවේදයක් සකස් කිරීමට අතිගරු ජනාධිපතිතුමා විසින් මේවන විට ‘’ජනාධිපති කාර්ය සාධක බලකායක්’’ ස්ථාපිත කරඇති බවත් ලේකම්වරයා පැවසීය.
තමන්ද සාමාජිකත්වය දරන එම කාර්ය සාධක බලකායේ වාර්තාව ඉදිරියේදි නිකුත් කිරීමට නියමිත බවත් එය ක්‍රියාත්මක කිරීමෙන් පසු ඉදිකිරීම් අමුද්‍රව්‍ය ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් සිදුවනු ඇති බවත් ජාසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ඉදිරියේදී රජය මෙමගැටලුවට ස්ථිර විසදුම් ලබා දෙන බවත් ඒඅනුව ජාවාරම්කරුවන් වෙනුවට ප්‍රදේශවාසී ජනතාවටත් ආර්ථික ප්‍රතිලාභයක් ලැබෙන පරිදී විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවත් මෙහිදී අමාත්‍යවරයා අවධාරණය කළේය. තවද වැල්ලවාය,තනමල්විල,බුත්තල ඇතුළු ප්‍රදේශ රැසක සිදුවන වැලි ජාවාරම් පිළිබදව මෙහිදී කරුණු රැසක් ජගත් පුෂ්පකුමාර මන්ත්‍රීවරයා විසින් අනාවරණය කළ අතර වහාම එම කටයුතු කාවකාලිකව නවතා පරීක්ෂණයක් සිදුකර වාර්තාවක් ලබා දෙන ලෙස භූවිද්‍යා සහ පතල් කැනීම් කාර්යාංශයේ සහ මධ්‍යම පරිසර අධිකාරයේ බලධාරීන්ට අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේය.වසන්ත යාපා බණ්ඩාර,වීරසුමන වීරසිංහ,අජිත් රාජපක්ෂ,ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ,රෝහණ දිසානායක,ගුණතිලක රාජපක්ෂ,මංජුලා දිසානායක,වරුණ ලියනගේ,කාදර් මස්තාන්,එස් .ශ්‍රීධරන් ඇතුළු මන්ත්‍රීවරයන් පිරිසක්ද රාජ්‍ය නිලධාරිහූද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Read more

Local News