පසුගියදා මහර බන්ධනාගාර සිද්ධියේදී මිය ගිය රැදවියන් 11කගේ මෘත සිරුරු සම්බන්ධයෙන් මේ වන විට තීරණයක් ගෙන තිබේ.
මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් මිය ගිය රැඳවියන් 11 දෙනාගේ මළ සිරුරු සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා කරුණු වාර්තා කරන්නැයි වත්තල මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද පංච පුද්ගල පරීක්ෂණ කමිටුවට නියෝග කර තිබේ.
මේ වනවිට රාගම ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇති එම මළ සිරුරු පොලිස් ආරක්ෂාව හා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් කොළඹ අයි.ඩි.එච් රෝහලට රැගෙන ගොස් පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වන ලෙස මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය.
ඒ අනුව රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය ප්‍රකාශ කර සිටියේ, මළ සිරුරු 11 අතරින් 08 ක්ම කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති බැවින් පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව පවත්නා සෞඛ්‍ය හේතූන් මත අදාළ දේහයන් තවදුරටත් රඳවා තබා ගැනීම අනතුරුදායක වන බැවින් ඒවා ආදාහනය කිරීමට අවසර ලබාදෙන ලෙසයි.
මහේස්ත්‍රාත්වරයා පැවසුවේ එම මළ සිරුරු අපරාධ විමර්ශනයකට භාජනය වන නිසා විද්වත් මණ්ඩලයෙන් වාර්තා ලැබෙන තෙක් ඒ සම්බන්ධයෙන් නියෝගයක් ලබා දීමට උත්සුක නොවන බවයි.
ගැටුම හා මරණ සිදුවී ඇත්තේ යම් කිසි පාර්ශවයක මැදිහත්වීම මත ද ? එදින රාජකාරි කළ බන්ධනාගාර නිලධාරීන් පෞද්ගලික ආරක්ෂාවේ සීමාව ඉක්මවා කටයුතු කර ඇත්ද යන්න කරුණු අණාවරණය කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට විධිමත් පරීක්ෂණයක් සිදු කර ඇතැයි රජයේ අධිනීතිඥවරිය පෙන්වා දුන්නා ය.
මේ අතර ගැටුමෙන්, මහර බන්ධනාගාරයට සිදුවී ඇති දේපල හානි පිළිබඳ තක්සේරු වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි ද මහේස්ත්‍රාත්වරයා රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවට නියෝග කරමින් නඩුව ලබන 16 වැනි දා දක්වා කල් තබා තිබේ.



