නෙදර්ලන්ත හිමිනමගේ අපවත්වීම ගැන පුළුල් විමර්ශනයක් පවත්වන්නැයි අගමැතිගෙන් උපදෙස්

Share

රත්ගම, පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ නෙදර්ලන්ත හිමිනමගේ අපවත්වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් වහාම පුළුල් විමර්ශනයක් පවත්වන ලෙස අගමැති විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි.

 

නෙදර්ලන්ත ජාතික හිමිනමකගේ දේහය පසුගිය දා රාත්‍රියේ රත්ගම කලපුවේ තිබී හමුවූ අතර පොලීසිය පැවසුවේ, 60 හැවිරිදි උන්වහන්සේ නෙදර්ලන්තයේ ජිනරතන නමින් පැවිදිව වැඩ වාසය කර ඇති බවයි.

35 වසරක පැවිදි දිවියකට හිමිකම් කී උන්වහන්සේ මියන්මාරය සහ තායිලන්තය වැනි රටවල මීට පෙර වැඩවාසය කර තිබුසේක.

පිණ්ඩපාතයෙන් යැපෙමින් ආරණ්‍ය සේනාසනය තුළ භාවනානුයෝගීව වැඩවිසූ උන්වහන්සේ හැට හැවිරිදි වියේ පසුවූහ.

පසුගිය 05 වැනිදා පස්වරුවේ සිට හිමිනම පිළිබඳ කිසිදු තොරතුරක් වාර්තා වී නොතිබු අතර උන්වහන්සේ පිණ්ඩපාතයේ වඩින ඔරුව රත්ගම කලපුවේ පාවෙමින් තිබිය්‍දී සොයා ගැනුණි.

පසුව සිදුකළ සොයාබැලීමේදී ස්වාමීන් වහන්සේගේ මෘත දේහය හමුවු අතර උන්වහන්සේගේ දෙපා වයරයකින් ගැටගසා ඊට කොන්ක්‍රීට් කැබැල්ලක් ද ගැටගසා තිබේ.

දේහය සොයාගත් ස්ථානයට පැමිණි ගාල්ල මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා මේ සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ පෙරවරුවේ සිදුකළේය.

දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කරාපිටිය ශික්ෂණ රෝහලේදී අද සිදුකෙරුණු අතර වැඩිදුර පරීක්ෂණ සඳහා සිරුරේ කොටස් කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමු කිරීමට එහිදී තීරණය කර තිබේ.‍

Read more

Local News