විදුලි බලයෙන් ධාවනය වන වාහන අලෙවිය 50% ඉක්මවූ පළමු රට

Share

විදුලි බලයෙන් ධාවනය වන වාහන අලෙවිය 50% ඉක්මවූ පළමු රට බවට පත් වීමට නෝර්වේ රාජ්‍ය සමත්ව ඇත.

පසුගිය වසරේ දී (2020) අලෙවි වූ වාහනවලින් 50%ක වැඩි සංඛ්‍යාවක් විදුලිබලයෙන් ධාවනය කෙරෙන වාහන යැයි නෝර්වේ රාජ්‍යයේ ‘‘මාර්ග තදබදය සඳහා වන තොරතුරු කවුන්සිලය (ඕ.එෆ්.වී.)’’ නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ.

එම වාර්තාවට අනුව පසුගිය වසරේ දී අලෙවි වූ වාහනවලින් 54.3%ක් විදුලි බලයෙන් ධාවනය වන වාහන වන අතර ඊට පෙර වසරේ සංඛ්‍යාදත්ත හා සැලකීමේදී එය 11.9%ක වර්ධනයකි. පෙර වසරේ එනම් 2019 වසරේ රටේ සමස්ත වාහන අලෙවියෙන් 42.4%කට හිමිකම් කියා ඇත්තේ විදුලි බලයෙන් ධාවනය වන වාහන ය.

නෝර්වේ රාජ්‍ය යනු ‘නෝර්ඩික් රටවල්’ ගොන්නට අයත් වන රටකි. එරට වැඩියෙන්ම අලෙවි වන විදුලි බලයෙන් ධාවනය වන මෝටර් රථ වනුයේ අවුඩි ඊ-ටෝර්න්, ටෙස්ලා මොඩල් 3, ද වොක්ස්වැගන් අයි.ඩී.3 සහ නිසාන් ලීෆ් යන මෝටර් රථ ය. මෙම මෝටර් රථ හතරම සම්පූර්ණ විදුලි බලයෙන් ධාවනය කෙරේ.

පස්වැනි තැන හිමිව ඇත්තේ වොක්ස්වැගන් ගොල්ෆ් මෝටර් රථයට ය.

ඉකුත් දෙසැම්බර් මාසයේදී නෝර්වේ රාජ්‍යයේ විදුලි බලයෙන් ධාවනය කෙරෙන මෝටර් රථ අලෙවිය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙන අතර ප්‍රතිශතයක් ලෙස එය 66.7%ක අගයක් ගත් බව ‘‘මාර්ග තදබදය සඳහා වන තොරතුරු කවුන්සිලය (ඕ.එෆ්.වී.)’’ සඳහන් කරයි. ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ වාහනවල නව මාදිලි පැමිණීම ය.

මෙලෙස විදුලි බලයෙන් ධාවනය වන වාහනවල අලෙවිය 50% ඉක්මවූ පළමු රට නෝර්වේ රාජ්‍යය යැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නෝර්වේ විදුලි බලයෙන් ධාවනය වන වාහන සංගමය සඳහන් කළේය.

නෝර්වේ යනු යුරෝපයේ විශාලතම තෙල් නිෂ්පාදන රට වුවත් මේ වනවිට විදුලි බලයෙන් ධාවනය වන වාහන කෙරෙහි අවධානය යොමු කර ඇත. ඊට ප්‍රධානම හේතුව වී ඇත්තේ එම කර්මාන්තයට ලබා දී ඇති සහන යැයි ද පැවසේ.

නෝර්වේ රාජ්‍ය තුළ විදුලිබලය නිෂ්පාදනය කෙරෙන්නේ ජලවිදුලි බලයෙනි. නෝර්වේ රාජ්‍ය 2025 වනවිට කාබන් වායු විමෝචනය ‘‘0’’ දක්වා අඩු කිරීම සිය අරමුණ කරගෙන ඇත.

Read more

Local News