කුරුණෑගල රෝහලේ පීසීආර් පරීක්ෂණ රසායනාගාරය විවෘත කෙරේ

Share

කුරුණෑගල පළාත් මහ රෝහලේ PCR පරීක්ෂණ රසායනාගාරය විවෘත කිරීම ඊයේ (10) දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ සහ වරාය නාවික කටයතු මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍ය, ඡොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණි.

 

ඊට අදාලව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් සංවිධානය කර තිබූ උත්සව අවස්ථාවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යතුමිය මෙම අදහස් දක්වන ලදි.

රුපියල් ලක්ෂ 125 ක වියදමින් ස්ථාපිත කරන ලද මෙම PCR පරීක්ෂණ රසායනාගාරය මගින් දිනකට PCR පරීක්ෂණ 900 ක් පමණ සිදු කළ හැකි බවත්, කුරුණෑගල සහ වයඹ පලාතෙන් පිට පළාත්වල ද PCR පරීක්ෂණ මේ මගින් සිදු කිරීමේ හැකියාව ලැබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

රුපියල් ලක්ෂ පනස් හතරක් වටිනා පී.සී.ආර් යන්ත්‍රය කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව මහතා විසින් නගර සභාවේ විමධ්‍යගත අරමුදලින් පිරිණමා තිබේ.

රිදීගම රිදී විහාරයේ ශ්‍රී බුද්ධරක්ඛිත හිමි, ඇත්කද විහාරයේ විහාරාධිපති ශ්‍රී සුමංගල හිමි අතුළු කුරුණෑගල විහාරස්ථානවල මහා සංඝරත්නය, ව්‍යාපාරික ප්‍රජාව සහ වයඹ වෛද්‍ය පීඨය මුදල් හා උපකරණ පරිත්‍යාග කරමින් මෙම රසායනාගාරය ඉදිකර ඇත.

ඊට අදාළ සියලු  සම්බන්ධීකරණයන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වයඹ පළාත් සම්බන්ධීකාරක වෛද්‍ය ඉන්දික රත්නායක මහතා ඇතුළු කුරුණෑගල දිසාවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් එකමුතුව විසින් ඉටු කර ඇත.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යතුමිය -“සියළු දෙනා එකට එක් වූ තැන මහා ශක්තියක් ගොඩනැගෙනවා. දේශපාලන අධිකාරිය, වෛද්‍ය අංශ, මහා සංඝරත්නය නායකත්වය  ගෙන තිබෙනවා. සුද්දා අපේ රට අල්ලන්න ඉස්සෙල්ලා තිබුනේ වෙනම පරිපාලන ව්‍යුහයක්. මට තේරෙන විදිහට ඒ පරිපාලනය කළේ මහා සංඝරත්නය මුල් වූ ග්‍රාමීය ව්‍යුහයක්. කොවිඩ් රෝග පාලනයටත් දේශපාලන නායකත්වය, වෛද්‍ය අංශ, මහා සංඝරත්නය එකට එකතු වෙන්න ඕනි. සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට නිරෝධායනය කරන වැඩ තිබෙනවා, රෝග ප්‍රතිකාරක වැඩ තිබෙනවා එම නිසා දැන් බොහෝ වෙහෙසක් වෙලා තිබෙන්නේ. එම නිසා දැන් කොවිඩ් පාලනයටත් ජනතාවගේ, මහජන නියෝජිතයින්ගේ, මහා සංඝරත්නයේ, සෞඛ්‍ය අංශයේ, රාජ්‍ය ආයතනවල, ග්‍රාමීය කමිටුවල, දිස්ත්‍රික් කමිටුවල  සහභාගීත්වය තිබෙන  මහජන ක්‍රියාවලියකට අප යා යුතු වෙනවා.  එයට හේතුව තමයි අද කොවිඩ් පාලනය කරන්නේ රට වහලා නොවෙයි. වෛරසය පාලනයට ජනතා සහයෝගය අත්‍යාවශ්‍ය වෙනවා. අද අප සියළු දෙනා එකට එකතු විශාල කාර්යභාරයක් සිදු කරනවා. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ කුරුණෑගල ශාඛාව පරමාදර්හී කටයුත්තක් සිදු කර තිබෙන්නේ.”

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව මැතිතුමා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා, කුරුණෑගල පළාත් මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රමිලා ශාන්තිලතා මහත්මිය, නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැන්දගමුව මහතා, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා ඇතුලු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරින්, සෞඛ්‍ය කාර්ය මණ්ඩල එක්ව සිටියහ.

Read more

Local News