රන්ජන් නිරෝධායනයට යොමු කෙරේ

Share

සිර දඬුවම් නියම වූ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා නිරෝධායනය සඳහා යොමු කර ඇත.

 

පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ අභ්‍යාස විද්‍යාලය වෙත යොමු කළ කර තිබෙන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පැවසීය.

අද දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට සිව් වසරක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර තිබේ.

ඒ අධිකරණයට අපහාස කිරීම කිරිමේ චෝදනාව යටතේ.

සිසිර ද ආබෲ, විජිත් මළල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම තීරණය ඒකමතිකව ගෙන තිබෙන බව සඳහන් කළේය.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු සිසිර ද ආබෲ මහතා සඳහන් කර සිටියේ, අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් වග උත්තරකාර රන්ජන් රාමනායක මහතා වෙත එල්ල කර තිබෙන අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බවය.

ඒ අනුව රන්ජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කරන බවත් ඒ සඳහා ඔහුට බරපතළ වැඩ සහිත වසර හතරක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කරන බවත් තීන්දුව ප්‍රකාශ කරමින් විනිසුරුවරයා පැවසීය.

විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළ පැමිණිල්ලකට අනුව නීතිපතිවරයා විසින් වගඋත්තරකාර රන්ජන් රාමනායක හිටපු අමාත්‍යවරයාට එරෙහිව එම චෝදනා පත්‍රය ඉදිරිපත් කර තිබුණි.

2017 වසරේ අගෝස්තු මස 21 වන දා කොළඹ, අරලියගහ මන්දිරයේ දී එවක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව ජනමාධ්‍ය වෙත අදහස් දැක්වූ රන්ජන් රාමනායක මහතා මෙරට විනිසුරුවරුන්ගෙන් හා නීතිඥවරුන්ගෙන් බහුතරය දූෂිතයන් බවට ප්‍රකාශ කර තිබුණි.

එම ප්‍රකාශය තුළින් රන්ජන් රාමනායක මහතා මෙරට අධිකරණ පද්ධතිය කෙරෙහි මහජනතාව තබා තිබෙන විශ්වාසය පළුදු කිරීමට ක්‍රියාකර ඇති බවත් ඒ තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවත් පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

ඒ අනුව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු විභාගයක් පවත්වා සුදුසු දඬුවම් නියම කරන ලෙසද එම පැමිණිල්ල තුළින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන්  ඉල්ලා තිබුණි.

Read more

Local News