රන්ජන්ට දුන් තීන්දුව ගැන පොදුජන පෙරමුණේ නීතිඥ සංගමයෙන් නිවේදනයක්

Share

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නඩු තීන්දුව ශ්‍රී ලාංකේය අධිකරණ ඉතිහාසයේ නීතියේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට මහෝපකාරී වූ සුවිශේෂ නඩු තීන්දුවක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංගමය ප්‍රකාශ කරයි.

 

එම සංගමයේ ලේකම් නීතිඥ අතුල ප්‍රියදර්ශන ද සිල්වා මහතාගේ අත්සනින් නිකුත් කර තිබෙන නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වෙයි.

“ප්‍රජාතන්ත්‍රවාදය පිළිගන්නා ඕනෑම ශිෂ්ට සමාජයක රාජ්‍ය පාලනයේ ප්‍රධාන මර්මස්ථානය වන්නේ විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණයයි. මෙකී ආයතන ස්වාධීනව ක්‍රියාත්මක විය යුතුවා මෙන්ම ඒවායේ ස්වාධීන පැවැත්ම තහවුරු කිරීම රාජ්‍යයක ජීවනාලිය පවත්වාගෙනයාම උදෙසා අත්‍යවශ්‍ය කාරණාවන් වේ. විශේෂයෙන්ම අධිකරණයේ ස්වාධීන පැවැත්මට විධායකය හා ව්‍යවස්ථාදායකය මැදිහත් නොවිය යුතු අතර, ඒ සම්බන්ධ බාධාවන් පවතින්නේ නම් එකී බාධාවන් පාලනය කිරීම ද විධායකයේ හා ව්‍යවස්ථාදායකයේ මඟ හැරිය නොහැකි වගකීමක් වන්නේය.

අප මාතෘභූමිය දශක දහයකට එහා දිවයන ඉතිහාසයක් ඇති ගෞරවනීය, ප්‍රෞඪ අධිකරණ ක්‍රමයකට හිමිකම් පාන රාජ්‍යයක් බැව් නීති වෘත්තිකයන් ලෙස අපගේ අදහසයි. විනිසුරුතුමන්ලා එක්ව ව්‍යවස්ථාමය වගන්තියකින් වෙනස් කිරීම මඟින් හෝ විනිසුරුතුමන්ලාගේ නිවාසවලට ගල්මුල් ප්‍රහාර එල්ල කිරීම මඟින් හෝ මහමඟ විනිසුරුතුමන්ලා ඝාතනය කිරීම මඟින් හෝ අධිකරණයට විවිධ අපහාස අවලාද නැඟීම මඟින් හෝ එකී ලාංකීය ස්වාධීන අධිකරණ ක්‍රමයේ ගෞරවය හෝ ප්‍රෞඪත්වය විනාශ කිරීමට යමෙකු කැස කැව්වේ නම් එය ඉටු නොවූවා පමණක් නොව අවසාන වශයෙන් එකී ව්‍යායාමයන්ට නායකත්වය දුන් අය ජනතාව තුළින් ප්‍රතික්ෂේප වූ අයුරු ද ඈත මෙන්ම මෑත ඉතිහාසය ද සාක්ෂි දරයි.අධිකරණයට අපහාස කිරීමේ වරදට රන්ජන් රාමනායක මහතා වරදකරු කර දඬුවම් කිරීම මඟින් පෙන්නුම් කරන්නේ එකී ආදර්ශයයි. වරදක් කළේ නම් එය ඕනෑම අයෙකුට එරෙහිව ක්‍රියාත්මක විය හැකිය යන්න ද මෙමඟින් මොනවට පැහැදිලි වේ. මෙකී ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව ශ්‍රී ලාංකේය අධිකරණ ඉතිහාසයේ නීතියේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට මහෝපකාරී වූ සුවිශේෂ නඩු තීන්දුවක් බැව් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නීතිඥ සංගමය අවිවාදයෙන් ප්‍රකාශ කර සිටී.නීති වෘත්තිකයන් ලෙස ලාංකේය සමාජයට අප ප්‍රකාශ කර සිටින්නේ දූෂිතයන් තුළින් හෝ අපහාසකරුවන් තුළින් හෝ වීරයන් බිහි නොවන බවයි. එවැනි වරද කරුවන්ට වීරයන්ගේ ලේබලය ඇලවීමට ඉක්මන් නොවන ලෙසට අපි වගකීමෙන් සමාජයෙන් ඉල්ලා සිටිමු” යනුවෙන් එහි වැඩ්දුරටත් සදහන් කර තිබේ.

Read more

Local News