ක්‍රිකට් ක්‍රීඩාවේ සංවර්ධනයට ගත් තවත් පියවරක්

Share

ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සහ පුහුණුකරුවන්ගේ ප්‍රගතිය මෙන්ම ක්‍රිකට් සංවර්ධන කටයුතු අධීක්ෂණය කිරීමේ අරමුණින් නව ක්‍රිකට් කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති නාමල් රාජපක්ෂ මහතා තීරණය කර තිබේ.

 

එම කමිටුවට අරවින්ද ද සිල්වා, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, මුත්තයියා මුරලිදරන් සහ රොෂාන් මහනාම යන හිටපු ප්‍රවීණ ක්‍රීඩකයන් නම් කරනු ඇතැයි පැවැසේ. මේ කමිටුව මඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධනයට අවශ්‍ය තීන්දු තීරණ ප්‍රකාශ කළ යුතු අතර, ක්‍රිකට් ආයතනය යටතේ මේ කමිටුව ක්‍රියාත්මක වේ.

මේ ක්‍රිකට් සංවර්ධන කමිටුව පිළිබඳ නාමල් රාජපක්ෂ මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අදහස් දක්වා තිබූ අතර, හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිදෙනකු සමඟ ක්‍රිකට් දියුණුව වෙනුවෙන් ගත යුතු ඉදිරි පියවර සම්බන්ධව විශේෂ සාකච්ඡාවකින් අනතුරුව එම පණිවිඩය නිකුත් වී තිබිණි.

ජාතික හා අන්තර්ජාතික ක්‍රිකට් ව්‍යුහය සකස් කිරීමේදී ඒ සඳහා නිර්දේශිත ක්‍රිකට් කමිටුවක් පත් කිරීමටත් එම කමිටුව “ක්‍රියාකාරී හා සුදුසුකම්ලත් පුද්ගලයන්ගෙන් සමන්විත කමිටුවක්” වනු ඇතැයි ඇමැතිවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවේදී ද අවධාරණය කළේය.

මේ අතර, දේශීය ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් ගණන අඩු කිරීමේ නියෝග ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත දී ඇත.

Read more

Local News