අපනයන කෘෂි භෝග ආදායම වසරක් තුළ ඉහළට

Share

අද වන විට තේ, පොල්, රබර් මත යැපුණු ශ්‍රී ලංකාවේ ආර්ථිකයට නව ජවයක් ලබාදිය හැකිව තිබෙන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අගමැතිවරයා වැඩ්දුරටත් පවසන්නේ දේශීය නිෂ්පාදන අන්තර්ජාතික මට්ටමට ගොඩනඟා අපනයන මුලික කරගත් ආර්ථික ක්‍රමයක් හඳුන්වා දිය යුතු බවත්, මෑතක් වන තුරු අඹ, පේර, කජු හා සියඹලා පමණක් නොව ඉදල්, කොහු, කැටපෝලත් මෙරටට ගෙන්වා තිබෙන බවයි.

පසුගිය 2019 වර්ෂයේ රුපියල් මිලියන 63,000ක්ව පැවති අපනයන කෘෂි භෝග ආදායම වසරක් වැනි කෙටි කාලයක් තුළ රුපියල් මිලියන 73,000 දක්වා වර්ධනය කර ගැනීමට වත්මන් රජයට හැකිව තිබෙන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අගමැතිවරයා මේ බව සඳහන් කළේ ඓතිහාසික කසාගල රාජමහා විහාරස්ථානයේ දී පසුගියදා ආරම්භ වූ අපනයන කෘෂි කලාප ඇති කිරීමේ ජාතික වැඩසටහන අමතමිනි.

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්තියට අනුව රට පුරා කෘෂි අපනයන ගම්මාන හෝ කලාප පිහිටුවීමේ වැඩපිළිවෙළ යටතේ හම්බන්තොට දිස්ත්‍රික් කෘෂි අපනයන ගම්මානය කලාපයට ආරම්භය තබමින් අගමැතිවරයා ටී.ජේ.සී අඹ පැළයක් සිටුවූයේය. අනතුරුව ඉහළ අලුත් වැවට අගමැතිවරයා මත්ස්‍ය පැටවුන් මුදා හැරියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අගමැතිවරයා පෙන්වා දුන්නේ කහ ආනයනය කිරීම සඳහා වැය වූ රුපියල් මිලියන 1000ක මුදල ඉතිරිකර ගැනීමට හැකිව තිබෙන බවත්, ඒ වෙනුවෙන් වසරක කාලයක් කහ ආනයනය නොකර ගොවියාට කහ වැවීම සඳහා අවස්ථාව ලබා දුන් බවත්ය.

මෙම අවස්ථාවට ඇමැතිවරුන් වන චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, මහින්ද අමරවීර, වෛද්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය ඇමැතිවරුන් වන ජානක වක්කුඹුර, ඩී.වී චානක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උපුල් ගලප්පත්ති, අජිත් රාජපක්ෂ, දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ, දකුණු පළාත් සභාපති සෝමවංශ කෝදාගොඩ, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ, උක්, බඩ ඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබු නැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි බෝග වගා සංවර්ධනය ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් රෝහණ අභයරත්න මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Read more

Local News