විශ්වවිද්‍යාල පහසුකම් වැඩි දියුණු කිරිමට අගමැති උපදෙස්

Share

විශ්වවිද්‍යාලවල පහසුකම් වැඩි දියුණු කිරීම සදහා අමතර ප්‍රතිපාදන ලබා දෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා උපදෙස් ලබා දී ඇත.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව විශ්වවිද්‍යාල සදහා වැඩිපුර සිසුන් සංඛ්‍යාවක් බදවා ගැනීමට පියවර ගෙන තිබේ.

ඊට සාපේක්‍ෂව විශ්වවිද්‍යාලවල පහසුකම් වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව පවතින බැවින් ප්‍රතිපාදන ලබා දෙන ලෙස අග්‍රාමාත්‍යවරයා උපදෙස් දී තිබේ.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හා සියලුම විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්ගේ සහභාගිත්වයෙන් පැවති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.

විශ්වවිද්‍යාල සදහා මෙම වසරේදී හතළිස් එක් දහසක් බදවාගෙන ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සදහන් කළේය.

වෛද්‍ය පීඨ සදහා සිසුන් 479 දෙනෙකු ද වැඩිපුර බදවාගෙන තිබෙන අතර ඉසෙඩ් අගය මත විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ගැනීමට නොහැකි වූ විශිෂ්ට සාමාර්ථ ලබාගත් දරුවන් වෙනුවෙන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පෙන්වා දෙනු ලැබිය.

ඊට විසදුමක් ලෙස රජය ප්‍රතිපාදන ලබා දෙන්නේ නම් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයට එම දරුවන් බදවා ගැනීමේ හැකියාව ඇති බව එම විශ්වවිද්‍යාලයේ උපකුලපති මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් මහතා ප්‍රකාශ කළේය.

ඊට අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරන ලෙස අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දි ඇත.

Read more

Local News