වන්නිල ඇත්තන්ගේ පෙත්සමට අභියාචනාධිකරණය දුන් නියෝගය

Share

ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ගොනුකර ඇති පෙත්සමට අදාළ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා වනජීවී අමාත්‍යවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට අභියාචනාධිකරණය විසින් අප්‍රේල් මස 23 වනදා දක්වා කල් ලබාදී තිබේ.

සිය නිජබිම්, මහවැලි අධිකාරිය යටතට පවරාගෙන ඒවා බඩඉරිඟු වගාකිරීම සඳහා පෞද්ගලික සමාගම්වලට පවරාදීමට ගෙනඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා එම පෙත්සම ගොනුකර ඇත.

මෙම පෙත්සම සලකාබැලීම සඳහා අද (05) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී වනජීවි අමාත්‍යවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුවට පාදක වන බිම් ප්‍රදේශය තුළ පිහිටි කැළෑ හෙළි කිරීමක් මේ වනවිට සිදු නොවන බවය.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවකු වශයෙන් නම්කර සිටින ආර්.එන්. ඒ. ප්ලාන්ටේෂන් සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ද අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයින් විසින් අපනයනය සඳහා බඩඉරිඟු වගාවක් සිදුකරන බවත් ඒ සඳහා මහවැලි අධිකාරියට අයත් අක්කර 500 ක ඉඩමක් වෙන්කර තිබෙන බවය.

මෙම ඉඩම් සංරක්ෂිත කැලෑ නොවන බව පෙන්වා දුන් එම නීතිඥවරයා ඒවා කලකට පෙර හේන් ගොවිතැන් සඳහා යොදාගෙන අතහැර දමා තිබෙන ඉඩම් බවත් පැවසීය.

ඉදිරිපත් වූ කරුණු අනුව අභියාචනාධිකරණය පෙත්සම සලකාබැලීම සඳහා මැයි මස 03 වනදා කැඳවීමට නියම කළ අතර පෙත්සමට විරෝධතා තිබේ නම් ඒවා අප්‍රේල් මස 23 වනදාට පෙර ගොනු කරන ලෙස වනජීවි අමාත්‍යවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝග කළේය.

මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා අධිකරණයෙන් ඉල්ලීමක් කරමින්, තම සේවාදායකයන්ට අයත් ගම්බිම්වල පිහිටි ගස් කපා ඉවත් කිරීම වැළැක්වීමේ කිසියම් හෝ තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේය.

එම අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා අධිකරණයට දන්වා සිටියේ එවැනි ආකාරයේ හෙළිපෙහෙළි කිරීමත් එම ප්‍රදේශවල සිදු නොවන බවය.

ඒ අනුව අධිකරණය විසින් තහනම් නියෝග කිසිවත් නිකුත් කර නොතිබුණි.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මහවැලි අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, වනජීවි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, වනජීවි අමාත්‍ය සී. බී. රත්නායක, පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ.

පෙත්සම්කාර ආදිවාසී නායකයා පෙන්වා දෙන්නේ ශතවර්ශ ගණනාවක් තමන් පදිංචිව සිටින බිම්වලට අදාළ බිම් කොටස් මහවැලි අධිකාරිය යටතට පවරාගෙන ඒවා බඩඉරිඟු වගා කිරීම සඳහා පුද්ගලික සමාගම් වෙත පවරාදීමට පියවරගෙන ඇති බවය.

ඒ යටතේ අක්කර 5000කට අධික සිය පාරම්පරික ඉඩම් අහිමි වීමේ තත්ත්වයක් මතුව තිබෙන බව ද පෙන්වා දෙයි.

මේ තුළින් තම ජීවිනෝපාය කටයුතුවලට මෙන්ම වගාබිම්වලට ද දැඩි අගතියක් සිදුවන බව පෙන්වා දෙන ආදිවාසී නායකයා මහවැලි අධිකාරිය විසින් ගනු ලබන මෙම තීරණය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස අභියාචනාධිකරණයෙන් ඉල්ලයි.

Read more

Local News