පාස්කු ප්‍රහාරය : මෛත්‍රිට හා රනිල්ට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය ජුනි 07 වැනිදාට

Share

ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳ විභාගය ජුනි මස 07 වනදා තෙක් කල් තැබීමට සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නියම කළේය.

මෙම පෙත්සම් අද (08) අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, එල්. ටී. බී. දෙහිදෙණිය, මුර්දු ප්‍රනාන්දු සහ එස්. තුරෙයිරාජා සහ ගාමිණී අමරසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාගයට ගැනීමට නියමිතව තිබුණි.

එහෙත් එම පෙත්සම් අද කැඳවනු ලැබුවේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය, එස්.තුරෙයි රාජා සහ ගාමිණි අමරසේකර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේදී ය.

අද පෙත්සම් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම්වල  තමන් පෙනී සිටින ඇතැම් වග උත්තරකරුවන්ට පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලූ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව මගින් චෝදනා එල්ල වී ඇති හෙයින් ඔවුන්ට තවදුරටත් තමන් පෙනී සිටින්නේ ද යන්න තීරණය කිරීම සඳහා කල් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය අද දින පැවැත්වීමට නියම කර තිබූ විභාගය අවලංගු කළ අතර මෙම පෙත්සම් පිළිබඳ විභාගය ජුනි මස 07, 08 සහ 09 යන දිනයන් වල පැවැත්වීමට තීන්දු කළේය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය, අදාළ  ප්‍රහාරයෙන් තුවාල ලැබූ සහ මියගිය අයගේ ඥාතීන්, කතෝලික පියතුමන්ලා ඇතුළු පාර්ශව 12ක් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

එහි වගඋත්තරකරුවන් ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන, ජාතික බුද්ධි හිටපු ප්‍රධානී සිසිර මෙන්ඩිස් ඇතුළු පාර්ශව ගණනාවක් නම් කර තිබේ.

Read more

Local News