අද අඳුර දුරලා ආලෝකය ජයගත් දිනයයි : කථානායක

Share

අද දිනට යෙදී තිබෙන මහා ශිව රාත්‍රි දිනය වෙනුවෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.

අදාල නිවේදනය පහතින්

අද අඳුර දුරලා ආලෝකය ජයගත් දිනයයි.

බහු සංස්කෘතික අගයන් ,සංහිඳියාව සහ අඛණ්ඩ සාමය අගයන ශ්‍රී ලාංකික සමාජයේ මහාශිව රාත්‍රිය යනු හුදෙක් අඳුර දුරලා පහනක් දල්වන වෛවර්ණිත උත්සවයකට පමණක් සීමා නොවෙයි.එය නිරන්තරයෙන් ඉවසීම සහ සාමය අගයන උත්කර්ෂවත් සම්පුදායකට උරුමකම් කියන ගෞරවනීය හින්දු ආගමෙහි උත්කෘෂ්ඨ භාවය ලෝකයට නිරූපණය කරයි. එහෙයින් ,ප්‍රථමයෙන් ලොව පුරා භක්තියෙන් ශිව රාත්‍රිය සමරන (11) දවසේ ආගමික වතාවත්වල නියැළෙන සියලු හින්දු භක්තියන්ට මාගේ හෘදයාංගම සුභාශිංසන පළමුව එක් කරනු කැමැත්තෙමි.

මෙරට ප්‍රජාතන්ත්‍රවාදයේ මුදුන්මල්කඩ වන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නන්විධ ජාති,ආගම්,භාෂා,වර්ග නියෝජනය කරන මහජන නියෝජිතයන් 225 කින් සැදුම් ලද්දාක් මෙන්ම ලාංකික ජන සමාජයද විවිධ ආගම්,ජාති සහ වාර්ගික වෙනස්කම්වලින් සමන්විත වෙයි. ඒ සියලු ජනමූල සම්ප්‍රදායන්හි විවිධත්වය අප සමාජයට ගෙන එන්නේ අභිමානවත් අලංකාරයකි.

එසේම,පුරවැසියන් ලෙස අප සියලු දෙනා සාකල්‍යයෙන්ම පිළිගනා ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සෑම තැනැත්තකුට ම තමන් අභිමත ආගමක් ඇදහීමේ හෝ වැළඳ ගැනීමේ නිදහස, ආගමක් හෝ විශ්වාසයක් දැරීමේ හෝ පිළිගැනීමේ නිදහස ද ඇතුළුව සිතීමේ නිදහසට, හෘදය සාක්ෂියේ නිදහසට සහ ආගමික නිදහසට හිමිකම් ඇත්තේය. එහෙයින්, සියලු ශ්‍රී ලාංකිකයන් ලෙස අප එකිනෙකා හා කටයුතු කළ යුතු වන්නේ අනෝන්‍ය ගෞරවයෙන් හා අචල විශ්වාසයකිනි .

එතනෙකා පිළිබඳව වන අනෝන්‍ය ගෞරවය හා අචල විශ්වාසය නොමැතිව අපට රටක් ලෙස මෙවන් අර්බුදකාරී සමයක එකමුතුව ඉදිරියට යා නොහැකි වනු ඇතිබව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ලෙස මගේ අවබෝධයයි. අපගේ ශිෂ්ටාචාරයේ මුල් යුගවලදී පටන් සාමය සහ සංහිඳියාව ප්‍රගුණ කළ අභිමානවත් දැයක් ලෙස ප්‍රකට
වූ ආසියානු අප මේ උතුම් වූ ශිව රාත්‍රී දිනය සමරන අවස්ථාවේදී  අභ්‍යාස කළ යුතු හොඳම පාඩම ඉවසීමයි.

මේ ආලෝකවත් ශිව රාත්‍රියේදී අප අතර සබඳත‍ා තර කරගැනීමට අදිටන් කරගතහොත් මෙරට අනාගතය සාමය,සංහිඳියාව සහ සෞභාග්‍යය සපිරුණු ආලෝකමත් එකක් බවට නිසැකයෙන්ම පත්වනු ඇත.

 මහින්ද යාපා අබේවර්ධන
කථානායක

Read more

Local News