MCC ගිවිසුම ගැන නීතිපතිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දීමක්

Share

ශ්‍රී ලංකා රජය සහ ඇමරිකානු මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් සමාගම අතර ගිවිසුම අත්සන් නොකිරීමට රජය තීන්දුකර ඇතැයි නීතිපතිවරයා අද (22) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

ශ්‍රී ලංකා රජය මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමට එළඹීම වළක්වාලීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු පාර්ශ්ව කිහිපයක් ගොනුකර තිබූ පෙත්සම අද ප්‍රීති පද්මන් සූරසේන, ගාමිණි අමරසේකර ඒ. එච්. එම්. ඩී. නවාස් යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජනරාල් ෆර්සානා ජමිල් මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් අමෙරිකානු මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් සමාගම හා ශ්‍රී ලංකා රජය අතර ගිවිසුමක් එළඹීමට තීරණයක් ගෙන නොමැති බව සඳහන් කළාය.

එවැනි ගිවිසුමක් ඇතිකර ගැනීමට ගෙන තිබූ තීරණය අවලංගුකර ඇති බව අමෙරිකානු මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් සමාගම් මණ්ඩලය විසින්ද ප්‍රකාශයට පත්කර ඇතැයිද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සඳහන් කළාය.

එමෙන්ම අමෙරිකානු හමුදා ස්ථානගත කිරීම්වලට අදාළ “සෝෆා” ගිවිසුමට එළඹීම සම්බන්ධයෙන් ද රජය තීරණයක් ගෙන නොමැති බව ඇය අධිකරණයට දැන්වූවාය.

ඒ අනුව එම පෙත්සම් ජුලි මස 12 වනදා යළි කැඳවීමට නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය එදිනම මේ සම්බන්ධයෙන් ලිඛිතව අධිකරණයට වාර්තා කරන ලෙස නීතිපතිවරයාට නියෝග කළේය.

ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට හානි කරවන මිලේනියම් චැලෙන්ජ කෝපරේෂන් ගිවිසුම සහ සෝෆා ගිවිසුම් අත්සන් කිරීම වැළැක්වීම නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

Read more

Local News