පිළිකා රෝගීන්ට අවශ්‍ය ඖෂධ 80% ක් පමණ හිඟයි

Share

කොරේ පිටට මරේ කියලා දැන් රටේ ඖෂධත් හිඟයි.

ඉන්ධන, ගෑස්, විදුලිය නැතිව දුක් විඳින ජනතාවට ලෙඩක් දුකක් හැදුනම බෙහෙත් ටික නැති වුණාම අවසානයට මැරෙන්න තමා වෙන්නේ.

පිළිකා රෝගීන්ට අවශ්‍ය ඖෂධ මේ වෙද්දී සියයට 80ක් පමණ හිඟ බවයි ඖෂධහල් හිමියන් පවසන්නේ.

ඉන්ධන ගෑස් වගේම ඖෂධත් දැන් හිඟයි. නමුත් සෞඛ්‍ය අමාත්‍යංශය පසු දිනක පැවසුවේ ඖෂධ හිඟයක් රට තුළ නැති බවයි. උණට හෙම්බිරිස්සාවට නැති බැරි මනුස්සයා දුවන්නේ රජයේ රෝහලට.

මොකද රජයේ රෝහලෙන් බෙහෙත් ගන්න වියදමක් යන්නේ නැති නිසා. ඒ වගේම තමයි දුප්පත් පැල්පතේ ජීවත්වන අහිංසක ජනතාවට රජයේ රෝහල මහමෙරක් වගේ වටිනවා.

මේ වෙද්දි ලංකාවේ ඩොලර් නැහැ. ඇත්තම කිව්වොත් අපි දැන් ඉන්නේ අගාධයට වැටෙන්න ඔන්න මෙන්න නෙවෙයි. ඇත්තම කිව්වොත් දැන් වැටිලා ඉවරයි.

අපේ රට තුළ නිෂ්පාදිත ආර්ථිකයක් නැහැ. අඩුම ගානේ අපි පොඩි ලෙඩකට බොන පැරසිටමෝල් පෙත්තත් ගෙන්නන්නේ ඉන්දියාවෙන්. ඖෂධ හිඟයක් ඇති වන බව මීට පෙර මතක් කළා. මහරගම පිළිකා රෝහල කියන්නේ මේ ඖෂධ ගැටලුවේදී අසරණ වෙන ප්‍රධාන ස්ථානයක්.

ෆාමසිවලට ගියාම බෙහෙත් නෑ. සමහර ෆාමසිවල සමහර බෙහෙත් තිබ්බත් ඒවා රත්තරන් ගානට ඉහළ ගිහින්. එදා වේල හොයාගෙන ජීවත් වෙන අහිංසක මිනිස්සුන්ට මේ බෙහෙත් මිල දරාගන්න ඇත්තටම අමාරුයි.

පිළිකා රෝහල අවට ඇති ඖෂධහල් හිමියන් පවසන්නේ මේ වෙද්දි පිළිකා රෝගයට අවශ්‍ය ඖෂධ සීයට අසූවක් පමණ හිඟ බවයි. පිළිකා රෝග ඖෂධ එක පෙත්තක්වත් අඩුවක් නැතුව අනිවාර්යෙන්ම අවශ්‍යමයි. එහෙම නැත්නම් ඒ ජීවිතයේ හෙට දවස අවිනිශ්චිතයි.

Read more

Local News