මුහුදේ සුළගේ වේගය වැඩියි – ධීවර හා නාවික ප්‍රජාව අවධානයෙන් – කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

Share

නිරිත දිග මෝසම සක්‍රිය වීමත් සමඟ දිවයිනේ නිරිත දිග කොටසේ වර්ෂාව වැඩිවීමක් අපේක්ෂා කෙරෙන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් අතුල කරුණානායක මහතා අද (05) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී ප්‍රකාශ කළේය.

ඒ අනුව බස්නාහිර, වයඹ, දකුණ, සහ මධ්‍යම යන පළාත්වලට විටින් විට තරමක තද වැසි ඇතිවිය හැකි අතර සබරගමුව සහ මධ්‍යම කඳුකරයට 60 මි.මී. වර්ෂාපතනයක් ලැබිය හැකියි.

එමෙන්ම දිවයින හරහා සුළගේ වේගය වැඩිවිය හැකි අතර වයඹ, බස්නාහිර, දකුණ පළාත්වලටත් සහ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුමටත් සුළගේ වේගය පැ.කි.මී 40-50 දක්වා වැඩිවිය හැකි බව ද ඒ මහතා පැවසීය.

ගිගුරුම් සහිත තද වැසි ඇතිවිය හැකි බැවින් අකුණු අනතුරු සිදුවිය හැකි බැවින් ඒ පිළිබඳව ජනතාව ආරක්ෂාකාරීව කටයුතු කරන මෙන් ඉල්ලා සිටි ඒ මහතා මන්නාරමේ සිට කොළඹ පොතුවිල් දක්වා වූ ගැඹුරු සහ නොගැඹුරු මුහුදු තීරවලත් සුළගේ වේගය පැ.කි.මී 60-70 දක්වා වැඩිවිය හැකි බැවින් ධිවර සහ නාවික ප්‍රජාව අවධානයෙන් පසුවන ලෙසටද ජනතාව වෙත දැනුම් දුන්නේය.

Read more

Local News