ඖෂධ හිඟ නැහැ – කටකතා බොරු – සෞඛ්‍ය ඇමති කියයි

Share

රට තුළ දැඩි ඖෂධ හිඟයක් ඇති බව කවුරුත් දන්නා කරුණක්. එහෙත් බලධාරීන්ට නම් තාම ඒ බව පෙනිලා නැහැ. කියන තරම් ඖෂධ හිඟයක් රටේ නැති බවයි සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල පවසන්නේ.

රට තුළ මේ වන විට දැඩි ඖෂධ හිඟයක් පවතින බවට මාස කිහිපයක සිට අප තොරතුරු වාර්තා කරමින් සිටිනවා. ඒ සම්බන්ධයෙන් රජයේ වෛද්‍යවරුන්, හෙද කාර්ය මණ්ඩල මෙන්ම සෞඛ්‍ය වෘත්තීය සමිති රැසක් විවිධ ආකාරයට පසුගිය කාලයේදී මේ සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කළා.

අත්‍යාවශ්‍යම ඖෂධ දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් මේ වනවිට රට තුළ නොමැති බවට තොරතුරු වාර්තා වනවා. එහෙත් මේ තත්වය තවමත් පිළිගන්න සෞඛ්‍ය ඇමතිවරයා හෝ සෞඛ්‍ය අමාත්‍යංශය සූදානම් නැහැ.

මේ වන විට රටේ සෞඛ්‍ය පද්ධතිය පවතින දැඩි අවධානම් තත්වය සහ ඉදිරියේදී මුහුණ දීමට සිදුවන භයානක තත්වයන් පිළිබඳව ඊයේ පාර්ලිමේන්තුවේදී හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ද තොරතුරු අනාවරණය කළා.

මේ අතර සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසන්නේ කට කතාවල කියන පරිදි අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක් නැති බවයි.

පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති සෞඛ්‍ය අමාත්‍යංශ උපදේශක කාරක සභාවට සහභාගී වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව අවධාරණය කළා. වැඩිදුරටත් සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ අත්‍යවශ්‍යම ඖෂධ වර්ග 14ක් සැපයීම සඳහා චීනය විසින් ලබා දී ඇති ඇමරිකානු ඩොලර් මිලියන විසි අටක ප්‍රධානය යොදාගෙන ඇති බවයි.

එමෙන්ම පෞද්ගලික රෝහල්වල අධික ගාස්තු අය කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී මන්ත්‍රීවරුන් කාරක සභාවේ අවධානය යොමු කළා. රජයේ රෝහල් නිසි පරිදි නඩත්තු නොකිරීම සහ අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබා දීමට අපොහොසත් වීම හේතුවෙන් පෞද්ගලික රෝහල්වල සේවය ලබා ගැනීමට රෝගීන්ට සිදුවී ඇති බවයි මෙහිදී මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල එහිදී ප්‍රකාශ කළේ පවතින වත්මන් ආර්ථික තත්වය හමුවේ මධ්‍යම ආදායම්ලාභී කණ්ඩායම්වලට තවදුරටත් පෞද්ගලික රෝහල් පහසුකම් ලබා ගැනීමට නොහැකි තත්වයක් උදාවී ඇති බවයි.

මේ තත්වය තුළ රජයේ රෝහල් වෙත යොමුවන පිරිස ඉදිරියේදී ආසන්න වශයෙන් සීයට විසිපහත් තිහත් අතර ප්‍රමාණයකින් ඉහළ යා හැකි බව ද ඔහු පෙන්වා දුන්නා.

Read more

Local News