ඉන්දියාවේ දූවිල්ලෙන් කොළඹ අහස වැසෙයි

Share

වායුගෝලයේ දූවිලි අංශු ඉහළ යෑමෙන් කොළඹ අහස මීදුම වැනි දුමාරයකින් වැසී ගොස් තිබෙන අයුරු අදත් දැකගත හැකි විය.

එම තත්ත්වය ඊයේ (07) දිනයේ දීද පැවති අතර, සුළං සහිත කාලගුණික තත්ත්වයත් සමග ඉන්දියානු අර්ධද්වීපයේ ඇති දූවිලි අංශු මෙරටට ගලාඒම හේතුවෙන් මෙම තත්ත්වය නිර්මාණය වී ඇති බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පැවසීය.

මේවනවිට දිවයිනේ ප්‍රදේශ රැසක වායු ගුණාත්මක දර්ශකය 150 ත් 200 ත් අතර අගයක පවතින බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ.

එය සෞඛ්‍යයට අහිතකර මට්ටමක් ලෙස සැලකෙනවා.

බෙංගාල බොක්කේ මේ දිනවල පවතින අවපීඩන තත්ත්වයත් සමඟ ඉන්දියාව දෙසින් ශ්‍රී ලංකාවට සුළං හමා ඒම සිදුවන බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වායු දුෂණ ඒකකයේ ප්‍රධාන විද්‍යාඥ සරත් ප්‍රේමසිරි සඳහන් කළා.

මේ හේතුවෙන් ඉන්දියාවේ පවතින වායු දුෂණ මට්ටම මෙරටට ද බලපෑමක් ඇතිකර තිබෙන බවයි ඔහු පැවසුවේ.

මෙම තත්ත්වය යාපනය, වවුනියාව, පුත්තලම, ගම්පහ, කොළඹ සහ තදාසන්න ප්‍රදේශ වලට වැඩි වශයෙන් බලපෑමක් එල්ලකර තිබෙන බවද ඔහු සඳහන් කළා.

මෙම තත්ත්වය අද (08) සවස් වනවිට පහව යාමට ඉඩ ඇති බවට බලාපොරොත්තු වන බවත් ඔහු සඳහන් කළා.

මෙමඟින් ශ්වසන ආබාධා සහිත සංවේදී පුද්ගලයන්ට වැඩි බලපෑමක් සිදුවිය හැකි බව හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ ශ්වසන රෝග විශේෂඥ වෛද්‍ය දමිත් රුද්‍රිගෝ සඳහන් කළා.

එමනිසා පෙනහළු රෝග, ඇදුම, නිධන්ගත පුප්පුශිය අවහිරතා රෝගය (COPD), පෙනහළු පිළිකා, නිව්මෝනියාව, හර්ද රෝග සහ ආඝාතය පවතින රෝගීන් සහ ළමුන්, ගැබිණි මව්වරුන් වැඩි වශයෙන් ප්‍රවේශම් විය යුතු බවයි ඔහු අවධාරණය කළේ.

ඒ සඳහා එම නම් කළ කාණ්ඩ මෙම අවස්ථාවේදී හැකිතාක් එළිමහනට නොගොස් නිවෙස් තුළ සිටීම වැදගත් බවත් එළියට යන්නේ නම් මුව ආවරණයක් පැළඳීම අත්‍යවශ්‍ය බවයි වෛද්‍යවරයා පැවසුවේ.

Read more

Local News