නාගරික සංවර්ධන අධිකාරියේ මධ්‍යම පාන්තික නිවාස ඩොලර්වලට අලෙවි කිරිමේ වැඩපිළිවෙල යටතේ මේ වනවිට ඇමරිකානු ඩොලර් ලක්ෂ 5කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.
ඒ අනුව උපයාගෙන ඇති මුදල ඩොලර් 502,170.93 කි. එය මෙරට මුදලින් රුපියල් මිලියන 181.2 කි. මේ වසරේ ඩොලර් වලින් නිවාස අලෙවි කොට ලබා ගැනීමට අපේක්ෂා කළ ආදායම ඩොලර් ලක්ෂ 05 කි. වසර අවසන් වීමටත් පෙර එම ඉලක්කය ඉක්මවා යාමට හැකි වූ බව නාගරික සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.
මෙරට තිබෙන ඩොලර් අර්බුදයට විසදුමක් ලෙස නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදිකර ඇති මධ්‍යම පාන්තික නිවාස විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට හා විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට අලෙවි කිරීමට පියවර ගැණුනේ විෂයභාර අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ උපදෙස් පරිදියි.
ඒ අනුව ඊට අදාල පළමු නිවස පසුගිය සැප්තැම්බර් මාසයේදී අළෙවි විය. එය මිලදී ගත්තේ ඩුබායි රාජ්‍යයේ සිටින ශ්‍රී ලාංකිකයෙකි.
නාගරික සංවර්ධන අධිකාරිය පවසන්නේ මේ වනවිට නිවාස 11 ක් ඩොලර් වලට අලෙවි වී ඇති බවයි. එම නිවාස අළෙවි වී ඇත්තේ පන්නිපිටිය, වීරමාවතේ පිහිටි වියත්පුර නිවාස සංකීර්ණයෙනි. මේ වනවිට එම නිවාස සංකීර්ණයේ නිදන කාමර දෙකක් සහිත නිවාස සම්පූර්ණයෙන්ම විකිණී අවසන් බවද නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.
ඩුබායි, ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, එක්සත් රාජධානිය, ඕමාන් කටාර් රාජ්‍යය හා ෆීජී දූපත්වල ජීවත්වන ශ්‍රී ලාංකිකයන් මෙම නිවාස මිලදීගෙන තිබේ. නිවාසවල වටිනාකම එකවර ගෙවූ බැවින් ඔවුන්ට සියයට 10ක වට්ටම් දීමනාවක්ද හිමිව ඇත.
එමෙන්ම තවත් නිවාස 8ක් මිලදී ගැනීමට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ඉල්ලීම්කර ඇති බවද එම අධිකාරිය පවසයි. නාගරික සංවර්ධන අධිකාරිය සතු නිවාස විදෙස්ගත ශ්‍රී ලංකිකයන්ට අළෙවි කිරීමෙන් ලබන වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 1.5ක අදායමක් උපයා ගැනීමට නාගරික සංවර්ධන අධිකාරිය දැනටමත් සැළසුම් සකස්කර ඇති බවයි වාර්තා වන්නේ.



