විදුලි කප්පාදුව ගැන විදුලිබල මණ්ඩලයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක්

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලි කප්පාදුවක් නොකරන බවට බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරයා, විදුලිබල මණ්ඩලය ඇතුළු පාර්ශව ලබාදුන් එකඟතාවය කඩ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ගොනු කල පැමිණිල්ල අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබුවා.

ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ සහ ශිරාන් ගුණරත්නගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම සලකා බැලුණා.

එහිදී ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු පාර්ශව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට කියා සිටියේ මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් තම සේවාදායකයින්ගෙන් උපදෙස් ලබා ගැනීම සඳහා කාලය අවශ්‍ය බවයි.

එබැවින් මෙම පෙත්සම හෙට දින කැඳවන ලෙසටයි, නීතිඥවරුන් ඉල්ලා සිටියේ.

මෙහිදී විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු, යසන්ත කෝදාගොඩ පැවසුවේ මෙය හදිසි කටයුත්තක් බැවින් කල් දැමීම සුදුසු නැති බවයි.

ඒ අනුව වගඋත්තරකරුවන්ගෙන් උපදෙස් ලබා ගැනීම සඳහා ඔවුන්ගේ නීතිඥවරුන්ට කල් ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම අද දහවල් යළි කැඳවන බවට නියෝග කළා.

ඉන් අනතුරුව මීට ටික වේලාවකට පෙර යළි පෙත්සම සලකා බැලීම ආරම්භ වුණා. ඒ අනුව හෙට දින පෙත්සම සලකා බලන තුරු විදුලි කප්පාදු කිරීමක් නොකරන බවට ලංකා විදුලිබල මණ්ඩලය ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක් ලබා දී තිබෙනවා.