ලබන මහ කන්නයේ දී බඩඉරිඟු වගා කරන ගොවීන්ට බිම් සකස් කර ගැනීමට අක්කරයකට රුපියල් 20,000ක නැවත අය නොකෙරෙන මුදලක් ලබා දෙනබව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.
එසේම වගාවට අවශ්‍ය බඩඉරිඟු බීජ හා පොහොර සියල්ල නොමිලයේ ලබා දීමට SAPP ව්‍යාපෘතිය තීරණය කර ඇත.
කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කුඩාපරිමාණ කෘෂි ව්‍යවසායකත්ව සහභාගිත්ව වැඩසටහන (SAPP- Small Scale Agri- Business Participation Project) යටතේ ලබන මහ කන්නයේ දී බඩඉරිඟු වගාව සඳහා දිස්ත්‍රික්ක පහක් තෝරාගෙන එහි ගොවීන්ට අවශ්‍ය සහන රැසක් ලබාදීමට පියවර ගෙන තිබේ.
ලබන මහ කන්නයේ දී හම්බන්තොට, මොණරාගල, අනුරාධපුර, අම්පාර හා බදුල්ල දිස්ත්‍රික්කවල බඩඉරිඟු වගා කරන ගොවීන්ට වගාව සඳහා ආධාර උපකාර රැසක් ලබා දීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේය.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී ඊයේ (4) පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.