පැය කිහිපයකින් නම් කරන නව පොලිස්පති

Share

ජනාධිපතිවරයාට ඇති බලතල අනුව පොලිස්පතිවරයා පත්කිරීම ඉතාමත් ඉක්මණින් ඉදිරි පැය ගණනාව තුළ සිදුවනු ඇතැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (07) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.

21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමට විශාල කලබලයක් තිබුණද, අද වනතුරු ඇතැම් කොමිසන් සභා පත් කිරීම සම්පූර්ණ වී නොමැතිවීමත් අති බරපතල ප්‍රශ්නයක් බව පැවසූ ඔහු එය කාගේත් වගකීම බවද පෙන්වා දුන්නා.

එමෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා රජය, ඉන්දියාවේද සහය ඇතිව නවීන තාක්ෂණයද යොදාගනිමින් තොරතුරු රැස්කර, අඛණ්ඩ වැඩපිළිවෙළක් යොදා ඇතැයිද, ඒ සඳහා තදබල ක්‍රියාමාර්ග වෙත ආරක්ෂක අංශ අවතීර්ණය වී ඇතැයිද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළා. ඇතැම් කේන්ද්‍රීය අධ්‍යාපන ආයතන පිරී තිබෙන නගරවල මත්ද්‍රව්‍ය පැතිරීම ගැන තොරතුරු ඇති නිසා, මෙම තත්ත්වය පාලනය සඳහා නීතිරීතිද තදබල ලෙස වෙනස් සම්බන්ධයෙන්ද සාකච්ඡා කර ඇතැයිද ඔහු සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙම අදහස් පළ කළේ, විපක්ෂ නායකවරයා සහ පා.ම. ඩලස් අලහප්පෙරුම මහතා අද පාර්ලිමේන්තුවේදී, නැගූ ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වමිනුයි.

අගමැතිවරයාගේ කතාව කතාව පහත දැක්වෙනවා.

“ගරු කථානායකතුමනි , පොලිස්පතිතුමාගේ විශ්‍රාමයාම සිදුවීමෙන් පස්සේ පොලිස්පතිතුමාට දිගු කිරීමක් ජනාධිපතිතුමා දුන්නා. ඒ දිගු කිරීම දැන් හමාර වී පොලිස්පතිධූරය පිළිබඳ ජනාධිපතිතුමා ඒ තීරණය දැනුම් දීම අදාල බලධාරීන් වෙත කිරීමට කටයුතු කරනවා. ජනාධිපතිතුමාට තියෙන බලතල අනුව ජනාධිපතිතුමා නම් කරනු ලබයි. ඒ අනුව ඉතාම ඉක්මනින් ඔබතුමා කියන පැය 48ට ඉස්සර වෙන්නත් පුළුවන්. ඒ ගැන කලබල තත්වයක් නෑ. දැනට පොලිසිය රට පුරා ඇති සේවාව පිළිබඳ අවශ්‍ය සියලු කටයුතු ඒ දිස්ත්‍රික්ක ප්‍රධාන DIG ලා විසින් කරගෙන යනවා. නමුත් පොලිස්පතිතුමා පත්කිරීම ඔබතුමා කියපු පරිදි ඉතාමත් ඉක්මනින් ඉදිරි පැය ගණනාව තුළ සිදු වීම සිදුවෙයි.”

” විපක්ෂ නායකතුමා සඳහන් කළ කාරණාවට මම පිළිතුරක් දීම අවශ්‍යයි. මොකද ව්‍යවස්ථාදායක සභාවේ මූලාසනය දරන්නේ කථානායකතුමනි,ඔබතුමා. එහි මමත් සාමාජිකයෙක්, අනිවාර්යෙන් නීතිය යටතේ විපක්ෂ නායකතුමා ඉන්නවා. ඒ නිසා එහි සාමාන්‍යයෙන් සාකච්ඡා වෙන දේවල් අපි ප්‍රසිද්ධියේ සාකච්ඡාවට භාජන කිරීමෙන් වැළකී සිටිනවා. ඒ බව ඉතාම වගකීමෙන් අපි සියලු සාමාජිකයන් කටයුතු කර තිබෙනවා. නමුත් ගරු කථානායකතුමනි, හදිසි තත්වයක් යටතේ එහි මූලාසනය දරන කැඳවන ඔබතුමාට ඕනෑම අවස්ථාවක දී ව්‍යවස්ථාදායක සභාව කැඳවන්න පුළුවන්. අපි යොදාගෙන තියෙන්නේ සරල රැස්වීම් වාර පිළිබඳ එකඟතාවයක් නිසා හදිසියේ අවශ්‍යතාවයකට මූලාසනයට ව්‍යවස්ථාදායක සභාව කල්දී කැඳවන්න පුළුවන්. එහෙම කලිනුත් සිදුවෙලා තියෙනවා.

මීට පෙර වතාවල් රාශියක ඒ පිළිබඳ කාලසටහන බලන ඕනෑම කෙනෙක්ට වාර්තාවලින් ඒක දැනගත හැකියි. ඒ නිසා විපක්ෂ නායකතුමා කිව්ව කාරණයට මම සඳහන් කරන්න ඔන ගරු කතානායකතුමාට. ඒ වගේම මම කණගාටුවෙන් ප්‍රකාශ කරනවා. මම මීට ඉස්සර ගරු කථානායකතුමාට කිව්වා, සභාවේ කිව්වා. 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමට තිබුණු කලබලය කොපමණද කියලා ඔබතුමා අපි දන්නවා. මේ සභාව දන්නවා. නමුත් අද වනතුරු සමහර කොමිසන් සභා පත් කිරීම සිදු කිරීම සම්පූර්ණ වෙලා නෑ. ඒකත් අති බරපතල ප්‍රශ්නයක් හැටියට අපි කාගේත් වගකීම බවට පරිවර්තනය වෙමින් තිබෙනවා. ඒ නිසා මේ කාරණයේදීත් අප කටයුතු කළ යුතුයි. මම කලින් කිව්වා වගේ පොලිස්පතිතුමාට දීලා තිබෙන්නේ දිගු කිරීමක්. ඒ කාලේ තමයි දැන් හමාර වී තිබෙන්නේ. ඒ දිගු කරලා දුන්නු කාලසීමාවෙන් පස්සේ, ජනාධිපතිතුමත් ඒ පිළිබඳ තීරණයක් ප්‍රකාශයට පත් කරයි.

මේ වගේම අතිරේකව මත්ද්‍රව්‍ය ගැන ප්‍රකාශ කළා. අපේ රජය අඛණ්ඩ වැඩපිළිවෙළක් මේ පිළිබඳ දියත් කරලා තිබෙනවා. ඒ පිළිබඳ සුවිශේෂ ආරක්ෂක කමිටු රැස්වීම් ගණනාවක් පවත්වලා තියෙනවා. මම වගකීමෙන් කියනවා. ඒ වගේම ජාත්‍යන්තර මුහුදේ ජාත්‍යන්තර මුහුදේ තිබෙන තත්වය මම හිතන්නේ දැනගන්නට කැමති නම්, විශේෂ අදාල ආරක්ෂක රැස්වීමකට සහභාගි වුණාම ඒ පිළිබඳව තොරතුරු දැනගන්න පුළුවන්.

ඒක අප පමණක් නොව, ඉන්දියාවේ ද සහයෝගය හා ලබා ගනිමින් මේ ඇතිවී තිබෙන ප්‍රවණතාව මෙල්ල කරන්නට උත්සාහයක යෙදිලා තිබෙනවා. ඒ අපට පමණක් නෙවෙයි.ඉන්දියාව පවා මේ බරපතළ තත්ත්වයෙන් අපේ මුහුදු කරයේ අවට මේ ප්‍රවාහනය වන ආකාරයන් සම්බන්ධව දැනට තොරතුරු අපත් සමඟ හුවමාරු කර ගනිමින් කටයුතු කරමින් තිබෙනවා. ඒ නිසා හැකි දුරට ආරක්ෂක අංශ මේ පිළිබඳ වඩාත් ක්‍රියාත්මක වීමට අවශ්‍ය නවීන යාන්ත්‍රික තොරතුරු රැස් කිරීමේ ක්‍රියාවලියට අපට බහින්න සිද්ධ වෙලා තියෙනවා. මේක තමයි ලෝකෙ අද දෙවැනි ලොකුම ජාවාරම.එය මෙල්ල කිරීම සඳහා අවශ්‍ය තදබල ක්‍රියාමාර්ගවලට අපේ ආරක්ෂක අංශ යොමුකර තිබෙනවා. ඒ නිසා අධ්‍යාපන ක්ෂේත්‍රයට එය ගළනවාද කියන කාරණයට නගරයෙන් නගරය ඇමතිතුමා කිව්ව විදියට නගරයෙන් නගරයට, සමහර කේන්ද්‍රීය අධ්‍යාපන ආයතන පිරිලා තිබෙන නගරවල මේ භාවිතා කිරීම ගැන මීට අවශ්‍ය පියවරවල් තදබල ලෙස ගැනීමට අපේ නීතිරීතිද තදබල ලෙස වෙනස් කළ යුතුයි කියලා දැනට අපි සාකච්ඡා කරලා තිබෙනවා.”

මම විශේෂයෙන් ව්‍යවස්ථාදායක සභාව ගැන සඳහන් කරපු නිසා යළිත් කියන්නට ඕනේ. ව්‍යවස්ථාදායක සභාව මීළඟට රැස්වෙන දිනය එකඟතාවයකට පැමිණි බව සැබෑයි. නමුත් ව්‍යවස්ථාදායක සභාවට කැඳවන්නට ගරු කථානායකතුමාට හදිසි තත්ත්වයක් යටතේ ඕනෑම අවස්ථාවක පුළුවන්. “

Read more

Local News