ආසියානු ක්‍රිකට් කවුන්සලයේ පූර්ණ සාමාජිකත්වය ජපානයට

Share

ඉන්දුනීසියාවේ, බාලි නගරයේ පැවැති ආසියානු ක්‍රිකට් කවුන්සලයේ වාර්ෂික මහා සභාවේදී, එම කවුන්සලයේ සභාපති ජේ ෂා අතින් ජපානයේ ක්‍රිකට් සංගමයේ ප්‍රධාන විධායක ඇලෙක්ස් මියාජි වෙත ආසියානු ක්‍රිකට් කවුන්සලයේ පූර්ණ සාමාජිකත්වය පිරිනමනු ලැබුවා.

මේ සඳහා පූර්ණ අනුග්‍රහය ශ්‍රී ලංකා ක්‍රිකට් සංගමයේ සභාපති ශම්මි සිල්වා ලබා දුන් අතර ආසියානු ක්‍රිකට් කවුන්සලයේ විධායක සභික මෙන්ම ආසියානු ක්‍රිකට් කවුන්සලයේ මූල්‍ය සහ අලෙවිකරණ කමිටුවේ සභාපති, ශ්‍රී ලංකා ක්‍රිකට් සංගමයේ ප්‍රධාන විධායක නිලධාරි ඈශ්ලී ද සිල්වා, වැඩ බලන ලේකම් ක්‍රිශාන්ත කපුවත්ත මේ සඳහා එක්ව සිටියා.

අනතුරුව පැවැති රැස්වීමක දී ශ්‍රී ලංකාව සහ ජපානය අතර ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ නැංවීම සඳහා අවබෝධතා ගිවිසුමකට එළැඹීමේ මූලික කටයුතු පිළිබඳව සාකච්ඡා කළා.

ඒ සඳහා උපදේශන කටයුතු ලබාදීමට කටයුතු කළේ, ජපාන ක්‍රිකට් සංගමයේ විශේෂ උපදේශකවරයෙකු වශයෙන් මෙන්ම ජපානයේ ක්‍රිකට් ක්‍රීඩා දියුණු කිරීම පිළිබඳව සන්නාම තානාපතිවරයෙකු වශයෙන් කටයුතු කරන ප්‍රියන්ත කාරියප්පෙරුමයි.

ජපන් ක්‍රිකට් සංගමයේ විශේෂ ආරාධනයකට අනුව ජපානයේ සංචාරක සහභාගි වී සිටින කාරියප්පෙරුමගේ උණුසුම් සුභ පැතුම් ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් ජපානයේ ක්‍රිකට් සංගමයේ ප්‍රධාන විධායක වන ඇලෙක්ස් මියාජිට පිරිනමනු ලැබුවා.

Read more

Local News