අගමැතිනියගේ රාමසාන් දින පණිවුඩය​

Share

ලෝකවාසී ඉස්‌ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන රාමසාන් දිනය අදට (31) යෙදී තිබෙනවා.

අගමැතිනියගේ රාමසාන් දින පණිවුඩය​ පහතින්,

” ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා සිටින අපගේ ඉස්ලාම් භක්තික සහෝදර සහෝදරියන් රාමසාන් උත්සවය සමරන මේ මොහොතේ, සාමය, සමෘද්ධිය සහ අධ්‍යාත්මික සැනසීම වෙනුවෙන් මාගේ හෘදයාංගම සුබ පැතුම් පිරිනමමි.

රාමසාන් යනු ගැඹුරු පසුවිපරම, යාච්ඤාව සහ ස්වයං විනය පිළිබඳ කාලයක් මෙන්ම එය අපට අනුකම්පාව, ත්‍යාගශීලීභාවය සහ එකමුතුකම යන වටිනාකම්ද උගන්වන කාල පරිච්ඡේදයකි. මෙම ශුද්ධ මාසය තුළ අපගේ මුස්ලිම් සහෝදරත්වය අනුගමනය කරනු ලබන උපවාසය භක්තියේ ක්‍රියාවක් පමණක් නොව, අව වරප්‍රසාදිත අපේම සහෝදර ප්‍රජාව මුහුණ දෙන අරගලයන් පිළිබඳ සිහිපත් කිරීමකි. එය පවුලේ අය, මිතුරන් සහ ප්‍රජාව සමඟ අපගේ බැඳීම් ශක්තිමත් කරන අතරම ඉවසීම, නිහතමානිකම සහ කෘතඥතාව වර්ධනය කිරීමටද හේතුවන කාලයකි.

එහි හරය තුළ, කරුණාව දැක්වීම, සමාව දීම සහ පුණ්‍ය කටයුතුවල යෙදීම වැනි මානව හිතවාදී ක්‍රියාවන් අන්තර්ගතය. මෙම කාලය තුළ පිළිපදින පිළිවෙත්, අවශ්‍යතා ඇති අය සමඟ බෙදා හදා ගැනීමේ වැදගත්කම පිළිබිඹු කරන අතර සැබෑ සමෘද්ධිය යනු අනිකාට නැගී සිටීමට අතදීම බවද අපහට සිහිපත් කරයි. මෙම වටිනාකම් විශ්වීය වන අතර ඉස්ලාම් බැතිමතුන් පමණක් නොව සියලු ජන ප්‍රජාවන් සමඟ ගැඹුරින් බැඳී පැවතිය යුතුය. එසේම ඒවා විවිධ ඇදහිලි සහ නොයෙක් ආගමික සමාජීය පසුබිම්වල ජනතාව අතර සමගිය සහ අවබෝධයද පෝෂණය කරනු ඇත.

ශ්‍රී ලංකාව විවිධත්වයෙන් පොහොසත් ජාතියක් වන අතර, අන්‍යෝන්‍ය ගෞරවය සහ සහයෝගීතාවය තුළින් අපගේ අනාගතය ශක්තිමත් කිරීමට අප සැම එක්ව ක්‍රියා කළයුතුය. මෙම රාමසාන් උත්සවය අපට සිහිපත් කර දෙන්නේ සහජීවනය, ඉවසීම, යුක්තිය සහ සාමය අරමුණු කොටගෙන කටයුතු කිරීමේ අවශ්‍යතාවයයි.

උපවාස මාසය ප්‍රීතිමත් ඊද් උත්සවයෙන් අවසන් වන නමුත්, මේ රාමසාන් උත්සවයේ වටිනාකම් වන අනුකම්පාව, එකමුතුකම සහ පරාර්ථකාමීත්වය – අපගේ දෛනික ජීවිතයට එක්කර ගැනීමට කටයුතු කරමු. මෙම ආශිර්වාද ලත් මාසය අපසැමටත් සමස්ථ රටටත් ජාතියටත් සාමය සහ සෞභාග්‍ය පිළිබඳ පණිවිඩය ගෙනෙනු ඇත”

Read more

Local News