දේශසීමා ගැටුම් උත්සන්න වෙයි – තායිලන්තයෙන් කාම්බෝජයට ගුවන් ප්‍රහාර

Share

තායිලන්තයේ රාජකීය හමුදාව (Royal Thai Army) නිවේදනය කරන්නේ දේශසීමා ගැටුම් උත්සන්න වීමෙන් හා ජීවිත හානි සිදුවීමෙන් පසු කාම්බෝජය සමඟ වන මතභේදාත්මක දේශසීමාව ඔස්සේ ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කළ බවයි. තායිලන්තය පවසන්නේ සඳුදා උදෑසන සිය හමුදාවන්ට කාම්බෝජ ප්‍රහාර එල්ල වීමෙන් පසු තම හමුදාවේ එක් සෙබළෙකු මිය ගොස් තවත් අට දෙනෙකු තුවාල ලබා ඇති බවයි. කෙසේ වෙතත්, කාම්බෝජය චෝදනා කරන්නේ ප්‍රහාරය දියත් කළේ තායිලන්තය බවත්, ඔවුන් ප්‍රතිප්‍රහාර එල්ල නොකළ බවත් ය.

ගැටුම් තායිලන්තයේ ඊසානදිග සි සා කෙට් (Si Sa Ket) සහ උබොන් රච්චතානි (Ubon Ratchathani) පළාත්වල මෙන්ම කාම්බෝජයේ උතුරු දේශසීමා පළාත් වන ප්‍රේහ් විහාර (Preah Vihear) සහ ඔඩ්ඩාර් මියන්චේ (Oddar Meanchey) වලින් වාර්තා වී තිබෙනවා. මැලේසියාව සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මැදිහත් වූ සටන් විරාම ගිවිසුමක් දෙරටම කඩ කළ බවට මේ වනවිට ඔවුනොවුන්ට චෝදනා කර ගනිමින් ඇතැයි වාර්තා වනවා. තායිලන්තය සහ කාම්බෝජය අතර වූ දරුණු දේශසීමා ආරවුලක් පසුගිය ජූලි මාසයේදී දින පහක යුද්ධයක් බවට පත් වූ අතර, එමඟින් පුද්ගලයන් 48 දෙනෙකු පමණ මිය ගොස් 300,000 කට ආසන්න පිරිසක් අවතැන් වූ බවත් වාර්තා වනවා.

Read more

Local News