වැලිපැන්න පොලීසියට අනුයුක්තව රාජකාරි කළ වයස අවුරුදු 54 ක් වූ ගොඩැල්ලගේ උපුල් සමන්ත නැමති පොලිස් සැරයන්වරයෙකු ඊයේ (15) රාත්රියේ අලුත්ගම – මතුගම මාර්ගයේ ලබුවැල්ගොඩ මංසන්ධියේදී යතුරුපැදියක ගැටීමෙන් මිය ගොස් තිබෙනවා. පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ජීප් රථයකින් මුර සංචාරයේ යෙදෙමින් සිටියදී, අධික වේගයෙන් පැමිණි යතුරුපැදියක් නතර කිරීමට සංඥා කර ඇති අතර, එහිදී වේගය පාලනය කරගත නොහැකි වූ යතුරුපැදිය රාජකාරියේ නිරතව සිටි මෙම සැරයන්වරයාගේ ගැටී ඇත.
ගැටීමෙන් විසිවී ගිය පොලිස් සැරයන්වරයා අසල කාණුවකට වැටී හිසට බරපතළ තුවාල සිදුවීම නිසා අලුත්ගම දර්ගා නගරයේ රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බවයි වැලිපැන්න පොලීසිය ප්රකාශ කර ඇත්තේ. මෙම අනතුරින් සුළු තුවාල ලැබූ යතුරුපැදිකරු ද අලුත්ගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්රතිකාර සඳහා කළුතර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇතැයි වාර්තා වනවා. සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට වැලිපැන්න පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.




