ලබන අගෝස්තු මාසයේ තෙල් නිෂ්පාදන සීමාව ජූලි මාසයේ නිෂ්පාදිත මට්ටමේ සිට දිනකට බැරල් 188,000කින් ඉහළ නැංවීමට ඔපෙක් ප්ලස් (OPEC+) කණ්ඩායමේ සාමාජික රටවල් සූදානම් වෙති.
සෞදි අරාබිය, රුසියාව, ඉරාකය, කුවේට්, කසක්ස්ථානය, ඇල්ජීරියාව සහ ඕමානය යන රටවල සහභාගීත්වයෙන් ඊයේ (05) පැවති මාර්ගගත රැස්වීමකින් අනතුරුව නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් විය.
ගෝලීය වෙළෙඳපළ තත්ත්වයන් සහ ඉදිරි දැක්ම පිළිබඳ සමාලෝචනයක් ඉදිරිපත් කරමින් පැවති එම රැස්වීමෙන් අනතුරුව අදාළ තීරණය ප්‍රකාශයට පත් කර ඇත.
ගෝලීය තෙල් වෙළඳපළෙහි ස්ථාවරත්වයට සහාය වීම සඳහා වූ ඔවුන්ගේ සාමූහික කැපවීමෙන්, 2023 වසරේ අප්‍රේල් මාසයේදී ප්‍රකාශයට පත් කළ පරිදි දිනකට තෙල් බැරල් 188,000ක නිෂ්පාදන ගැලපුමක් ක්‍රියාත්මක කිරීමට සාමාජික රටවල් තීරණය කර ඇති බවත්, ඒ අනුව මෙම ගැලපුම ලබන අගෝස්තු මාසයේදී ක්‍රියාත්මක කරන බවත් අදාළ නිවේදනයේ දැක්වේ.
දිනකට බැරල් මිලියන 1.65ක ස්වේච්ඡා තෙල් නිෂ්පාදන කප්පාදුව ඔපෙක් ප්ලස් කණ්ඩායමේ රටවල් ප්‍රථම වරට 2023 වසරේ අප්‍රේල් මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද අතර පසුව එය 2026 වසර අවසානය දක්වා දීර්ඝ කරන ලදී.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය මැයි මස 01 වන දින ඔපෙක් සහ පුළුල් ඔපෙක් ප්ලස් සන්ධානයෙන් ඉවත්ව තිබියදීත්, ඊයේ (05) දින ගත් මෙම තීරණය, ඔපෙක් ප්ලස් කණ්ඩායම අඛණ්ඩව සිය නිෂ්පාදන ඉහළ නංවනු ලබන පස්වන මාසය සනිටුහන් කිරීමකි.
එමෙන්ම වෙනස් වන වෙළෙඳපළ තත්ත්වයන්ට අනුව සිය නිෂ්පාදන නම්‍යශීලීව සූදානම් කරන බවත් ඔපෙක් ප්ලස් කණ්ඩායමේ මෙම සාමාජික රටවල් හත වැඩිදුරටත් දන්වා ඇත.
අගෝස්තු මාසයේ තෙල් නිෂ්පාදන සීමාව දිනකට බැරල් 188,000කින් ඉහළ දැමීමට OPEC+ රටවල් සූදානමක
Share
Read more



