කැනඩාව යුරෝපා සංගමයේ ‘ආශ්‍රිත සාමාජිකයෙකු’ වීම සතුරු ක්‍රියාවක් විය හැකි බව ට්‍රම්ප් කියයි

Share

යුරෝපා කොමිසමේ සභාපති Ursula von der Leyen යෝජනා කළේ කැනඩාව, යුරෝපා සංගමයේ පළමු “ආශ්‍රිත සාමාජිකයා” බවට පත් කිරීමටයි. එම යෝජනාවත් සමඟ ඇමරිකානු ජනාධිපති Donald Trump යුරෝපා සංගමයට නව තීරුබදු පැනවිය හැකි බවට අනතුරු ඇඟවීය.
ඇමරිකාව සමඟ පවතින වෙළඳ ආතතීන් හමුවේ කැනඩාව සහ යුරෝපා සංගමය අතර ආර්ථික සබඳතා ශක්තිමත් කර ගැනීම මෙම පියවරේ අරමුණයි. එහෙත් කැනඩාව සමඟ ඇතිකරගන්නා නව ගිවිසුමක් “සතුරු ක්‍රියාවක්” ලෙස සලකන්නේ නම්, යුරෝපා සංගමයට “ඉතා ඉහළ තීරුබදු” පැනවිය හැකි බව Trump පැවසීය.
“එය යහපත් අරමුණකින් සිදුකරන දෙයක් නම් ප්‍රශ්නයක් නැහැ. නරක අරමුණකින් නම් අපි යුරෝපයට ඉතා ඉහළ තීරුබදු පනවනවා,” ඔහු පැවසීය.
කැනඩාව මේ වන විට එහි විශාලතම වෙළඳ හවුල්කරු වන ඇමරිකාව සමඟ වෙළඳ ගැටුමක සිටී. ඒ හේතුවෙන් යුරෝපා සංගමය සමඟ සමීප සබඳතා ගොඩනැගීමට කැනඩාව දරන උත්සාහයන් වේගවත් වී තිබේ.
Trump අවස්ථා කිහිපයකදී කැනඩාව, ඇමරිකාවේ 51 වැනි ප්‍රාන්තය බවට පත්විය යුතු බව පවසා ඇත. එම අදහස කැනඩා අගමැති Mark Carney විසින් දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබේ.
කැනඩාව සඳහා යෝජනා කර ඇති “ආශ්‍රිත සාමාජිකත්වය” යටතේ කුමන අයිතිවාසිකම් සහ වගකීම් හිමිවේද යන්න තවමත් පැහැදිලි නැත. එම සැලසුමට යුරෝපා සංගමයේ සියලුම සාමාජික රටවල් සහාය දක්වන්නේද යන්නද පැහැදිලි නොවේ.

Read more

Local News