ඇමරිකාවේ වේලාවෙන් ඊයේ (24) පෙරවරුවේ ධවල මන්දිරයේදී, චීන ජනාධිපති ෂී ජින්පිං මහතා වෙනුවෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පිළිගැනීමේ උත්සවයක් පැවැත්වීය. චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඊට එක් වෙමින් දේශනයක් සිදු කළේය.
ඇමරිකානු ජනපති හා ආර්යාවගේ සාදර පිළිගැනීම වෙනුවෙන් ෂී ජින්පිං ජනාධිපතිවරයා ප්‍රථමයෙන් සිය දේශනයෙන් ස්තුතිය පළ කළේය. එසේම බිලියන 1.4ක චීන ජනතාව නියෝජනය කරමින් තමන් ඇමරිකානු ජනතාව වෙත හෘදයාංගම සුභාශිංසනය පිරිනමන බව ද හෙතෙම කියා සිටියේය. චීනය හා ඇමරිකාව ශ්‍රේෂ්ඨ රටවල් මෙන්ම දෙරටේ ජනතාව ද ශ්‍රේෂ්ඨය. දෙරටේ මිත්‍රත්වය, සහයෝගිතාව සහ දෙරටේ ජනතාවගේ සුබසෙත වර්ධනය කිරීම , තමන්ගේ මෙවර ඇමරිකානු සංචාරයේ අරමුණු බව චීන ජනාධිපතිවරයා පවසයි.
ලොව බලවතුන් වශයෙන් චීනයට හා ඇමරිකාවට මානවයාගේ සංවර්ධනය හා ප්‍රගතිය ප්‍රවර්ධනය කිරීමේ ඓතිහාසික යුතුකම පැවරී තිබේ. මේ වසර ආරම්භයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා චීනයේ සංචාරය කළ කාලයේ දෙරට අතර සංවර්ධනාත්මක උපාය මාර්ගික සබඳතාවක් ගොඩ නැගීමට දෙපාර්ශ්වය එකඟ වී ඇත. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා සමග එක්ව චීන-ඇමරිකානු සම්බන්ධතා වඩාත් ස්ථාවර අන්දමින් ඉදිරියට ගෙන යාමට චීන ජනාධිපතිවරයා දේශනයෙන් කැමැත්ත පළ කළේය. ඒ සඳහා දෙරට අන්‍යෝන්‍ය වශයෙන් සන්නිවේදනය ශක්තිමත් කළ යුතුය. දෙරට අතර අවංක සහයෝගිතාවක් පැවැත්විය යුතුය. එසේම චීනය හා ඇමරිකාව අතර සාමකාමී සහජීවනයක් තිබීමේ වැදගත්කම ද චීන ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
දෙවන ලෝක යුද සමයේ චීනය හා ඇමරිකාව එක්ව ෆැසිස්ට්වාදයට එරෙහිව සටන් කළ ඉතිහාසය සිහිපත් කරමින් ෂී ජින්පිං ජනාධිපතිවරයා පැවසුවේ එම ඉතිහාසය දෙරටේ ජනතාවට කිසිදා අමතක නොවන බව ය. දෙරටේ සම්බන්ධතාවන්හි අනාගතය රඳා පවතින්නේ දෙරටේ තරුණයින්ගේ දෑත මතය. ඉදිරි වසර 5 තුළ චීනයේ අධ්‍යයනය සඳහා ඇමරිකානු තරුණයන් ලක්ෂයකට ආරාධනා කරන බව චීන ජනපතිවරයා සිය දේශනයෙන් ප්‍රකාශ කළේය. එසේම චීන පැන්ඩාවන් දෙදෙනකු දෙරටේ මිත්‍රත්වයේ දූතයින් වශයෙන් දින කිහිපයකින් පසු ඇමරිකාවේ Atlanta සත්වෝද්‍යානයෙහි පදිංචි වනු ඇතැයි ද හෙතෙම සතුටින් ප්‍රකාශ කළේය.
ජාතික පුනර්ජීවනය උදෙසා යන ගමනේදී චීනය හා ඇමරිකාව අත්වැල් බැඳගෙන ද්විපාර්ශ්වික මිත්‍රත්වය වර්ධනය කරමින් වඩාත් සොඳුරු ලොවක් නිර්මාණය කරනු ඇති බවට චීන ජනපතිවරයා අවසාන වශයෙන් සිය දේශනයෙන් අපේක්ෂා පළ කළේය.




