රුසියානු මිසයිල ප්‍රහාර හමුවේ යුක්‍රේනයේ ප්‍රධාන වානේ කර්මාන්ත ශාලාව විනාශ වෙයි

Share

යුක්‍රේනයේ ප්‍රධාන වානේ නිෂ්පාදන මධ්‍යස්ථානයක් වන Zaporizhstal කර්මාන්තශාලාව රුසියානු මිසයිල ප්‍රහාර මාලාවකින් දැඩි ලෙස විනාශ වී තිබේ. Zaporizhzhia නගරයේ විශාලතම හා වැදගත්ම රැකියා මූලාශ්‍රයක් වූ මෙම කර්මාන්තශාලාවේ සේවකයන් සංඛ්‍යාව 8,500ක් පමණ වේ. එය නගරයේ ආර්ථිකයේ “හදවත” ලෙස දශක ගණනාවක් තිස්සේ සැලකුණු බව වාර්තා වේ.
අගෝස්තු මාසයේදී ප්‍රහාර දෙකක් සහ සැප්තැම්බර් මාසයේදී තවත් ප්‍රහාර දෙකක් ඇතුළුව රුසියානු ප්‍රහාර හතරකට මෙම කර්මාන්තශාලාව ලක්ව තිබේ. එහිදී මිසයිල 17ක් එල්ල වූ අතර, සේවකයන් 8 දෙනෙකු මියගොස් 31 දෙනෙකු තුවාල ලබා ඇත.
ප්‍රහාරවලින් කර්මාන්තශාලාවේ උපකරණ විශාල ප්‍රමාණයක් විනාශ වී ඇති අතර, යකඩ උණුකරන විශාල උදුන් ද දැඩි ලෙස හානි වී ඇත.
කර්මාන්තශාලා හිමිකාරීත්වය දරන Metinvest සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී Oleksandr Myronenko පැවසුවේ මේ වන විට සුන්බුන් ඉවත් කරමින් ප්‍රතිසංස්කරණ කටයුතු සැලසුම් කරමින් සිටින බවයි. එහෙත් Zaporizhstal නැවත ක්‍රියාත්මක වේද යන්න තවමත් අවිනිශ්චිතය.
යුක්‍රේන ලෝහ කර්මාන්තශාලා ඉලක්ක කරගත් රුසියානු ගුවන් ප්‍රහාර අගෝස්තු මාසයේදී ආරම්භ වූ අතර, මේ වන විට යුක්‍රේනයේ සියලුම ප්‍රධාන ලෝහ කර්මාන්තශාලා ප්‍රහාරවලට ලක්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

Read more

Local News