විදේශ ආයෝජන හා විදේශ ආධාර ලබාගැනීමේ දී රටේ ඒකීයභාවයට හා ස්වාධීනත්වයට හානියක් වීමට ඉඩදෙන්නේ නෑ

Share

අපට රටක් වශයෙන් දියුණුවීමට ලෝකයේ ශක්තිමත් ජාතීන්ගේ සහයෝගය අවශ්‍ය බවත් ඒ සඳහා විදේශ ආයෝජන හා විදේශ ආධාර ලබාගැනීමේ දී රටේ ඒකීයභාවයට හා ස්වාධීනත්වයට හානියක් නොවන අන්දමින් කටයුතු කිරීම තම රජයේ ප්‍රතිපත්තිය බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ඒ අනුව හම්බන්තොට වරාය සම්බන්ධයෙන් චීන සමාගම සමග ඇතිකරගත් ගිවිසුමේ තිබූ අපට අහිතකර වගන්ති බවත් කළ බවත් ජනාධිපතිවරයා පැවසුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ (09) පැවැති උත්සවයකදීය.

චීනය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කොට වසර 60ක් සම්පූර්ණවීම සැමරීම සඳහා මෙම උත්සවය සංවිධානය කොට තිබුණේ ශ්‍රී ලංකා චීන සංගමය විසිනි.

ශ්‍රී ලංකාවේ චීන තානාපති යී ෂියැං ලියැං සහ සංගමයේ සභාපති අමරදාස ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිගෙන උත්සව ශාලාව වෙත කැඳවාගෙන එනු ලැබීය.

එහිදී තවදුරටත් කතා කළ ජනාධිපතිතුමා අපේ භූමිය තුළ කෙරෙන ආයෝජනවලදී භාවිතයට නියමිත එම භූමියේ බිම් අඟලක්වත් ලෝකයේ කිසිදු රටකට සින්නක්කරව ලබානොදීමේ රජයේ ප්‍රතිපත්තිය අනුව හම්බන්තොට වරාය ගිවිසුමට ඒ පිළිබඳ වගන්තියක් ඇතුළත් කොට ඇති බවද කීය. තමා මෙම කාරණය පැහැදිලි කරන්නේ හම්බන්තොට වරාය ගිවිසුම සම්බන්ධයෙන් වැරදි අර්ථකතනයන් අසත්‍ය ප්‍රචාරවලට පිළිතුරක් වශයෙන් බවද සඳහන් කළ ජනාධිපති සිරිසේන මහතා පසුගිය රජය 2014 සැප්තැම්බර් 14දා චීනය සමග අත්සන් කොට තිබූ ගිවිසුම් තමා ජනාධිපති වීමෙන් පසු ව චීන රජය සමග සාකච්ඡා කොට ඒවායේ අපට අහිතකර වගන්ති ඉවත් කළ බවත් කීය.

ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය තුළ චීනය හා ශ්‍රී ලංකාව අතර ඇතිවන විට තිබෙන්නාවු සුහදතාවය හා බැඳීම මෙන් ම මිත්‍රශීලිභාවය වර්ධනය වී ඇති බවත් චීනය හා ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කොට 60 වසරක් පිරීමේ අවස්ථාව සතුටින් සැමරීමට පුළුවන්කම් ලැබී තිබෙන්නේ ඒ නිසා බවත් ජනාධිපතිවරයා තවදුරටත් පැවසීය.

“චීනය අපේ මිත්‍රයෙක් හැටියට අපේ දීර්ඝ කාලීන මිත්‍රතා ශක්තිමත් කරමින් මෑත කාලීන යුගයේ වසර 60ක රාජ්‍ය තාන්ත්‍රික ද්විපාර්ශවික සබඳතා ඇති කරදෙන වැඩපිළිවෙළ අනුව වඩාත් සුබදායි තත්ත්වයකයි අද පවතින්නේ. මෙහිදී වඩාත් සිහියට නැගිය යුතුයි. අපේ රටේ එල්ටීටීඊ ත්‍රස්තවාදීන් සමග අපේ තිබුණු යුද්ධයේ දී චීන රජය සහ ජනතාව අපට ලබාදුන් සහෝගය අපට අමතක කරන්නට බැහැ. එල්ටීටීඊ මලේච්ඡ ත්‍රස්තවාදීන් පරාජය කරන්නට අපේ රණවිරුවන්ට ශක්තියක් වූ ලෝකයේ අනෙක් රටවල් අතර චීනය අපේ රණවිරුවන්ට ලබාදුන් යුද පුහුණුව, යුද තාක්ෂණික දැනුම, ශිල්පීය දැනුම, යුදමය වශයෙන් කියන එක රහසක් නොවන බව ඔබ අප කවුරුත් දන්නවා”.

ඒ නිසා අපට අපේ රටේ අනාගතය සඳහා චීනය මේ ලබාදෙන්නාවූ සහයෝගය අද දවසේ අපේ ආර්ථිකය ගොඩනගාගන්නට දෙන්නාවූ සහයෝගය අප ඉතාමත් අගය කළ යුතු යැයි ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කීය.

ශ්‍රී ලංකාවේ චීන තානාපති යී ෂියැං ලියැ, කලා කීර්ති එඩ්වින් ආරියදාස, හිටපු විදේශ ලේකම්වරයෙකු වූ නිහාල් රුද්‍රිගු, හිටපු එක්සත් ජනපද තානාපති බර්නාඩ් ගුණතිලක, ශ්‍රී ලංකා චීන සංගමයේ සභාපති අමරදාස ගුණවර්ධන හා ලේකම් විල්මන් වික්‍රමසිංහ යන මහත්වරුද මෙහිදී කතා කළහ.

ශ්‍රී ලංකා චීන සංගමයේ මෙහෙයවීමෙන් බෙයිජි හා ෂැංහයි හි පැවැති වැඩමුළුවලට සහභාගි වූ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යයාවන් 30දෙනෙකුට සහතික පත්‍ර හා ත්‍යාග ප්‍රදානය කිරීමද ජනාධිපතිවරයා ඇතින් සිදු විය.

Read more

Local News