කටාර් රැකියා වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකාවට වටිනා අවස්ථා රැසක් – අමාත්‍ය රිෂාඩ් බදියුදීන්

Share

කටාර් රැකියා වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකාවට වටිනා අවස්ථා රැසක් උදාවී ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය දා කටාර් හි පැවැති කටාර් – ශ්‍රී ලංකා ව්‍යාපාර සමුළුව අමතමිනි.

කටාර් රාජ්‍ය ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ඉතා හොඳ අවස්ථා රැසක් උදා කර දී තිබෙන බවත් ඉදිරියේදී කටාර් රැකියා වෙළෙඳපොළ සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ සහභාගීත්වය වැඩි කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ඊට අමතරව කටාර් වෙළෙඳපොළ ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වන අතර මෙම ව්‍යාපාරික සමුළුව දෙරටේම ව්‍යවසායකයින්ට හා ව්‍යාපාරික ප්‍රජාවට ව්‍යාපාරික සබඳතා ගොඩනඟා ගැනීමට අවශ්‍ය වේදිකාව සකසා දී තිබෙන බවත්   කටාර් ව්‍යාපාරික ප්‍රජාවට  ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස  ඇරයුම් කරන බවත් ඒ මහතා පැවසීය.

 

එමෙන්ම කටාර් රාජ්‍ය හා ශ්‍රී ලංකාව අතර දිර්ඝ කාලයක සිට පැවති ව්‍යාපාරික සබඳතා පසුගිය දෙවසර තුළ වඩාත් තර කර ගැනීමට අවස්ථාව ලැබුණ බවත්, ඒ අනුව දෙරට අතර ද්වීපාර්ශ්වික වෙළෙඳාමේ ඉහළ වර්ධනයක් පෙන්නුම් කළ බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මෙම කටාර් – ශ්‍රී ලංකා ව්‍යාපාර සමුළුව  සඳහා  ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, කටාර්හි  වාණිජ මණ්ඩලයේ සභාපති ෂෙයික් කලීෆා බින් ජසීම් බින්  අල් තානි ශ්‍රී  ලංකාවේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක, දෙරටේම ව්‍යාපාරිකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගීවූහ.

Read more

Local News